හැඟුම්බර සමුගැනීම් මධ්‍යයේ නවසීලන්ත රණශූරයින් ඕස්ට්‍රේලියාවට

174

ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන NRL ශූරතාවලියේ මෙවර තරග වාරය ආරම්භ කර සති කිහිපයකට පසුව තාවකාලිකව නවතා දැමීමට සිදු වූයේ Covid-19 වසංගතය ඕස්ට්‍රේලියානු මහද්වීපය පුරා ශීඝ්‍රයෙන් හිස එසවීමට පටන් ගැනීමත් සමඟිනි.

Bill Beaumont නැවතත් සභාපති ධූරයට

ලෝක රග්බි සම්මේලනයේ නව සභාපති තෝරාගැනීම සඳහා වන ඡන්ද විමසීම පසුගිය………..

මේ වන විට එම තත්වයෙන් යම්තාක් දුරකට අත්මිඳී ජනතාවට සුපුරුදු පරිදි තම දෛනික වැඩ රාජකාරි කටයුතු  සිදු කිරීමට හිතකර වටපිටාවක් නිර්මාණය කර දීමට දෙරටේම රජයන් සහ සෞඛ්‍ය අංශ සමත් වී තිබෙන අතර ඒ සමඟම ප්‍රධාන පෙළේ ක්‍රීඩා තරගාවලි රැසක් යලි දියත් කිරීමට ද තරග සංවිධායකයින් පියවර ගනිමින් තිබේ.

NRL හෙවත් ජාතික රග්බි ලීගයේ මෙවර තරග වාරය Covid-19 වයිරසය පැතිර යාම ආරම්භ වීමත් සමඟම තාවකාලිකව කල් දැමීමට කටයුතු කළ අතර ඒ අනුව ප්‍රතිව්‍යුහගත කාලසටහනකට අනුව නැවත ක්‍රියාත්මක කිරීමට සූදානම් වන තරගාවලිය සඳහා මේ වන විට අවශ්‍ය සියලුම වැඩපිළිවෙළ සකස් කෙරෙමින් පවතින බව ද වාර්තා වේ.

NRL තරගාවලිය නියෝජනය කරන ප්‍රධාන කණ්ඩායම 16 අතුරෙන් එකක් ලෙස සැලකෙන නවසීලන්ත වෝරියස් කණ්ඩායම තම ඉතිරි තරග කිහිපය ක්‍රීඩා කිරීම සඳහා ඊයේ (04) දිනයේ දී ඕස්ට්‍රේලියාව බලා පිටව ගිය අතර ක්‍රීඩකයින් ගුවන්තොටුපළින් නික්ම ගිය අවස්ථාව ඉතාමත් සංවේදී එකක් බවට පත්වූයේ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් හට මෙවර ඕස්ට්‍රේලියාවෙහි සංචාරය කිරීම සඳහා තවමත් නිල වශයෙන් අවසර නොලැබී ඇති නිසාවෙනි.

වෝරියස් ක්‍රීඩකයින් හට තම පළමු තරගය ක්‍රීඩා කිරීමට පෙරාතුව දින 14ක කාලයක් නිරෝධායන ක්‍රියාවලියකට මුහුණ දීමට සිදු වන අතර ඔවුන් යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බව තහවුරු කරගැනීමෙන් අනතුරුව ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නගරයේ සිට ඔවුන්ට සිඩ්නි අගනුවර බලා පිටත්ව යාමට අවසර හිමි වනු ඇත.

ක්‍රීඩකයින් නික්ම යාමට මත්තෙන් තම පවුලේ සාමාජිකයින් සමඟ සතුටු සාමිච්චියේ නිරත වන අපූරු ඡායාරූප කිහිපයක් මාධ්‍යවේදීන්ගේ කැමරා කාචයට හසුවී තිබුණු අතර ඒ සියල්ලන්ටම වඩා ක්‍රීඩක ඇඩම් බ්ලෙයාර්ගේ බිරිඳ ජෙස් තම ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ පලකොට තිබූ සේයා රුව කාගේත් වඩාත් කථා බහට ලක්විය. බ්ලෙයාර්ගේ කුඩා පුතනුවණ් තම පියා සිප වැළඳ ගනිමින් ඔහුට සමුදෙන ආකාරය දිස්වෙන සංවේදී දසුනක් එහි ගැබ්ව තිබුණි.

මුලාශ්‍රය – Jess Blair / Instagram

මෙවර NRL තරග වාරය ඉදිරි මාස පහක කාලයක් පුරාවට පැවැත්වීමට නියමිත බැවින් තම ආදරණීයන්ගෙන් දිගු කලක් වෙන්ව සිටීමට සිදුවීම සම්බන්ධයෙන් ක්‍රීඩකයින් ද තරමක කනස්සල්ලෙන් පසුවන බව ගුවන්තොටුපළ පරිශ්‍රයේ දී පැවති මාධ්‍ය සාකච්ඡාවන්ගේදී පෙනී ගියේය.

කෙසේ නමුත් වෝරියස් කණ්ඩායමේ ප්‍රධාන විධායක නිලධාරි කැමරන් ජෝර්ජ් මහතා Herald පුවත් සේවයට ප්‍රකාශයක් ලබා දෙමින් සඳහන් කර සිටියේ ක්‍රීඩකයින්ගේ සමීපතමයින් ඕස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීම සඳහා ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට තමන් ඇතුළු කණ්ඩායම් කළමනාකාරිත්වය පසුබට නොවන බවයි.

ලෝක ශූරයන්ගෙන් වාර්තාමය චිත්‍රපටයක්

2019 වසරේ ලෝක කුසලාන රග්බි තරගාවලිය නිමාවූයේ වසර 8ක නවසීලන්ත………….

“අපි මේ කාරණය සුළුවට තකන්නේ නැහැ වගේම මේ අය ඉදිරි කාල පරිච්ඡේදය තුල දී ඔවුන් ගෙන්වා ගැනීමට අවශ්‍ය විධි විධාන අපි දැනටමත් සකස් කරගෙන යමින් පවතිනවා. NRL සංවිධායක කමිටුව මේ කාරණයේ දී තරමක් දැඩි ස්ථාවරයක ඉන්න නිසා අපි හිතන තරම් වැඩේ පහසු වුනේ නැහැ.”

“සමහර පවුල් වල උදවියට යන්න නොහැකි වුනා වගේම තවත් පිරිසකට එහෙම සංචාරය සඳහා එකතු වෙන්න අවශ්‍යතාවක් නොමැති බව අපිට පෙනුණා. හැමෝම එකම මතයක නෙමෙයි ඉන්නෙ. ඔය අතරිනුත් ඇතැම් පිරිසකට තරග ආරම්භ වුනාට පස්සෙ යන්න ඕනෑකම තියෙනවා. තමන්ගේ දෙමව්පියෝ නැදෑ හිතමිතුරෝ ඕස්ට්‍රේලියාවේ ඉන්න අයට ඊට වඩා දිග කාල සීමාවකට නතර වෙලා ඉන්න ඕන. ඉතින් ඒ වගේ හැමෝගෙම අදහස්, අරමුණු එකිනොකාට වෙනස්.”

කෙසේ නමුත් NRL සංවිධායක කමිටුව විසින් ඕස්ට්‍රේලියානු සහ නිව් සවුත් වේල්ස් රජයන්ට ලබා දී ඇති තරගාවලිය හා සම්බන්ධ නීති මාලාවන්ට ප්‍රකාරව ක්‍රීඩකයින්ගේ පවුලේ සාමාජිකයෙකු යම් හෙයකින් ඕස්ට්‍රේලියාවට පැමිණෙන්නේ නම් සහ ක්‍රීඩකයින් සමීපයෙන් ඇසුරු කරන්නේ නම් ඔහු හෝ ඇය ස්වයං නිරෝධායනයට ලක්වීම අනිවාර්‍යෙන්ම සිදු කළ යුතු බවයි.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<