බංග්ලාදේශය හමුවේ ශ්‍රී ලංකාවෙන් හොඳ සටනක්

දකුණු ආසියානු පාපන්දු ශූරතාවය 2021

500
Vaguthu Images - Abdulla Abeedh

2021 දකුණු ආසියානු පාපන්දු ශූරතාවය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද (01) සවස් වරුවේ පැවති තරගයෙන් ගෝල 1-0ක ජයක් ලැබීමට බංග්ලාදේශය සමත් වුනා.

මාලදිවයිනේ ජාතික පාපන්දු ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය ආරම්භයේ සිටම බංගලාදේශ ක්‍රීඩකයන්ගෙන් ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් දක්නට ලැබුණු අතර, ශ්‍රී ලංකා පසුපෙළ ක්‍රීඩකයන්ගේ දස්කම් නිසාවෙන් ගෝලයට ළඟා වීමට ඔවුන්ට හැකි වුනේ නැහැ.

පළමු අර්ධයේ දෙවැනි භාගයේ දී බංග්ලාදේශ ක්‍රීඩකයන්ට තරමක අභියෝගයක් එල්ල කරමින් ගෝලයක් ලබා ගැනීමට අවස්ථාවක් නිර්මාණය කර ගැනීමට වසීම් රසීක් උත්සහ කළ නමුත් එය අසාර්ථක වුනා.

එම අර්ධයේ අමතර කාලයේ දී බංග්ලාදේශ ඉදිරිපෙළ ක්‍රීඩකයෙකු හිසින් ගෝලයට එල්ල කළ පන්දුවක් අති දක්ෂ ලෙස නවතාලීමට ශ්‍රී ලංකා නායක සුජාන් පෙරේරා සමත් වීම නිසාවෙන් පළමු අර්ධය සමව අවසන් වුනා.

පළමු අර්ධය: ශ්‍රී ලංකාව 0 – 0 බංග්ලාදේශය

පළමු අර්ධයේ ලද රිද්මයෙන් දෙවැනි අර්ධයට පිවිසි බංග්ලාදේශ කණ්ඩායමට තරගයේ 53 වැනි මිනිත්තුවේ දී දඬුවම් පහර අවස්ථාවක් හිමි වුනේ දඬුවම් රාමුව තුළ දී ශ්‍රී ලංකා ක්‍රීඩක Duckson Puslasගේ අතේ පන්දුව ස්පර්ශ වීම නිසයි.

දඬුවම් පහර එල්ල කිරීමේ වගකීම ලබා ගත් බංග්ලාදේශ ක්‍රීඩක Topu Barman, සුජාන් පෙරේරාව මුලාවට පත්කරමින් ගෝලයේ දකුණු කෙළවරින් දැල තුළට පන්දුව ඇතුලු කිරීමට සමත් වුනේ තරගාවලියේ පළමු ගෝලය සිය කණ්ඩායමට ගෙන දෙමිනි.

එම සිදුවීමේ දී Duckson හට රතු කාඩ්පතක් හිමි වීම නිසාවෙන් පිටියෙන් ඉවත් වීමට ඔහුට සිදුවීම නිසාවෙන් තරගයේ ඉතුරු අර්ධය ක්‍රීඩකයන් 10 දෙනෙකුගෙන් ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකාවට සිදු වුනා.

තරගයේ අවසන් භාගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ගෝලයක් ලබා ගැනීමට විශාල උත්සහයක් දරනු දක්නට ලැබුනත්, තරගයේ සමස්ත කාලය අවසන් වන තුරුම ගෝලයක් ලබා ගැනීමට ඔවුන්ට හැකි වුනේ නැහැ.

අවසන් ලකුණු තත්වය: ශ්‍රී ලංකාව 0 – 1 බංග්ලාදේශය

ගෝල ලාභීන්:

  • බංග්ලාදේශය: Topu Barman 53’ (P)

එමෙන්ම අද පැවති දෙවැනි තරගයෙන් වත්මන් දකුණු ආසියානු ශූරයන් වන සත්කාරක මාලදිවයින පරදවමින් ගෝල 1-0ක පෙරළිකාර ජයක් ලබා ගැනීමට නේපාල ක්‍රීඩකයන් සමත් වුනා.

නේපාලය වෙනුවෙන් තරගයේ 86 වැනි මිනිත්තුවේ දී ජයග්‍රාහී ගෝලය රැස්කළේ Manish Dangi විසිනුයි. මෙවර දකුණු ආසියානු පාපන්දු ශූරතාවයේ ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරගය සඳුදා (07) ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 9.30ට නේපාලය සමඟ පැවත්වීමට නියමිතයි.

SAFF තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<