ශ්‍රී ලංකාව සහ නේපාලය අතර තියුණු සටනක්!

දකුණු ආසියානු පාපන්දු ශූරතාවය 2021

418

2021 දකුණු ආසියානු පාපන්දු ශූරතාවයේ ශ්‍රී ලංකාව අද (04) සහභාගී වූ දෙවැනි තරගයෙන් ගෝල 2-3ක් ලෙස නේපාලය හමුවේ පරාජය වීමට ශ්‍රී ලංකාවට සිදු වුනා.

පෙර තරගයේ දී බංග්ලාදේශය හමුවේ ලද පරාජය නිසාවෙන් ශ්‍රී ලංකාවට මෙම තරගයේ ජයග්‍රහණය ඉතා වැදගත් වූ අතර පෙර තරගයේ දී දස්කම් දැක්වූ ඩිලන් ද සිල්වා, මොහොමඩ් ශිෆාන් සහ මොහොමඩ් ආකීබ් අද සංචිතයට එක් කර තිබුණා.

පෙර තරගයේ දී සිදු කළ අඩුපාඩු මගහරවා ගනිමින් ඉතා හොඳ ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කිරීමට ශ්‍රී ලංකාව සමත් වූවත්, ඒ් සියල්ල අභිබවමින් තරගයේ පළමු ගෝලය 31 වැනි මිනිත්තුවේ දී වාර්තා කිරීමට නේපාල ක්‍රීඩක Suman Lama සමත් වුනා.

දඬුවම් රාමුව තුළ සිට එල්ල කළ පහරක් ශ්‍රී ලංකා නායක සුජාන් පෙරේරාගේ අතේ වැදී ගෝල රාමුවේ ඉහළ කොටසේ වැදීමෙන් ගෝල සීමාව පසුකිරීම නිසා එම ගෝලය නේපාලයට හිමි වුනා.

එම අර්ධයේ දී ගෝලයක් රැස්කරමින් තරගයට පිවිසීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් උත්සාහ දැරුවත්, නේපාල ක්‍රීඩකයන්ගේ දස්කම් නිසාවෙන් එම අර්ධය අවසන් වුනේ ගෝල 1-0ක් ලෙසයි.

පළමු අර්ධය: ශ්‍රී ලංකාව 0 – 1 නේපාලය

දෙවැනි අර්ධය ආරම්භයේ දී ම ලද නිදහස් පහරක් අලංකාරව ගෝලයේ වම් පසින් දැල තුලට එල්ල කිරීමට නේපාල ක්‍රීඩකයෙකු සමත් වූවත්, එය අතිදක්ෂ ලෙස නවතාලමින් සිය කණ්ඩායම තවදුරටත් තරගයේ රඳවා ගැනීමට නායක සුජාන් පෙරේරාට හැකි වුනා.

නමුත් එම උත්සාහය අපතේ යවමින් දඬුවම් රාමුව තුළ දී ලබා ගත් පන්දුවක් සුජාන් පසුකරමින් දැල වෙත එල්ල කරමින් නේපාලයට දෙවැනි ගෝලය රැස්කර දීමට Anjan Bistaට හැකි වුනේ තරගයේ 51 වැනි මිනිත්තුවේ දීයි.

56 වැනි මිනිත්තුවේ දී ගෝල රකින්නාගෙන් හිස්ව තිබූ ගෝලය වෙත පන්දුව එල්ල කිරීමට කවිඳු ඉෂාන් සමත් වූවත්, එය දක්ෂ ලෙස වැළැක්වීමට නේපාල පසුපෙළ ක්‍රීඩකයෙකු සමත් වුනේ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ගේ හදවත ද මොහොතට නතර කරමිනි.

එයින් කෙටි වේලාවකට පසු තරගයේ 58 වැනි මිනිත්තුවේ දී ඩිලන් ද සිල්වා ලබා දුන් පන්දුව, දඬුවම් රාමුවෙන් පිටත සිට දිගු පහරකින් ගෝලයේ දකුණු කෙළවරින් දැල තුළට ඇතුළු කරමින් තරගයේ පළමු ගෝලය රැස්කිරීමට මර්වින් හැමිල්ටන්ට හැකි වුනා.

දෙවැනි අර්ධයේ අගභාගයේ දී නේපාල ක්‍රීඩකයන්ට ගෝල ලබා ගැනීමට ආසන්නතම අවස්ථා කිහිපයක්ම හිමි වුනත්, ඒවා අතිදක්ෂ ලෙස වළක්වමින් ශ්‍රී ලංකාව තවදුරටත් තරගයේ රඳවා ගැනීමට සුජාන්ට හැකි වුනා.

එම සියලු උත්සාහයන් අපතේ යවමින් තරගයේ 86 වැනි මිනිත්තුවේ දී දඬුවම් රාමුව තුළ ලැබූ පන්දුවක් සුජාන් පසුකරමින් ගෝලයට යොමු කරමින් සිය කණ්ඩායමට තෙවැනි ගෝලය රැස්කර දීමට නේපාල ක්‍රීඩක Ayush Ghalan සමත් වුනා.

තරගයේ අවසන් අතිරේක කාලයේ දී ලද දඬුවම් පහරක් සාර්ථකව දැල වෙත එල්ල කරමින් ශ්‍රී ලංකාවට දෙවැනි ගෝලය රැස්කර දීමට ඩිලන් ද සිල්වා සමත් වූවත් තරගයේ වෙනසක් සිදුකිරීමට එය ප්‍රමාණවත් වූයේ නැහැ.

අවසන් ලකුණු තත්වය: ශ්‍රී ලංකාව 2 – 3 නේපාලය

ගෝල ලාභීන්:

නේපාලය: Suman Lama 31’, Anjan Bista 51’, Ayush Ghalan 86’

ශ්‍රී ලංකාව: මර්වින් හැමිල්ටන් 58’, ඩිලන් ද සිල්වා 90+3 (P)

අද සවස්වරුවේ පැවති අනෙක් තරගය තියුණු සටනකින් පසුව ගෝල 1-1ක් ලෙස සමව අවසන් කිරීමට බංග්ලාදේශ සහ ඉන්දීය ක්‍රීඩකයන්ට හැකි වුනා.

ඉන්දියාව වෙනුවෙන් Sunil Chhetri 26 වැනි මිනිත්තුවේ දී ගෝලයක් රැස් කළ අතර 74 වැනි මිනිත්තුවේ දී බංග්ලාදේශ ක්‍රීඩක Yeasin Arafat විසින් ගෝලයක් රැස් කරමින් සිය කණ්ඩායම පරාජයෙන් මුදවා ගත්තා.

මෙවර දකුණු ආසියානු පාපන්දු ශූරතාවයේ ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරගය බ්‍රහස්පතින්දා (07) ශ්‍රී ලංකා වේලාවෙන් සවස 4.30ට ප්‍රබල ඉන්දියාව සමඟ පැවැත්වීමට නියමිතයි.

SAFF තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්නපාපන්දු ක්‍රීඩා පිටුවට <<