ප්‍රබල ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකාව ගෞරවය රැක ගනී

දකුණු ආසියානු පාපන්දු ශූරතාවය 2021

399
Sri Lanka vs India

2021 දකුණු ආසියානු පාපන්දු ශූරතාවයේ ප්‍රබල ඉන්දියාව සමඟ අද (07) පැවති තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරමින් තරගාවලියේ පළමු ප්‍රසාද ලකුණ හිමිකර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් වුනා.

නවතම පාපන්දු ශ්‍රේණිගත කිරීමට අනුව ශ්‍රී ලංකාව 205 වැනි ස්ථානයේ පසු වූ අතර වර්තමානයේ දකුණු ආසියාවේ ප්‍රබලතම කණ්ඩායමක් වන ඉන්දියාව පසු වුනේ 107 වැනි ස්ථානයේයි.

මෙවර තරගාවලියේ ශ්‍රී ලංකාව මෙතෙක් සහභාගී වූ තරග දෙකම පරාජය වෙමිනුත්, ඉන්දියාව සහභාගී වූ තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ නිසාත් කණ්ඩායම් දෙකම සිය පළමු ජයග්‍රහණය ලබා ගැනීමේ අරමුණින් අද (07) පිටියට පිවිසුණා.

තරගය ආරම්භයේ සිටම ශ්‍රී ලංකා කණ්ඩායමට අභියෝගයක් එල්ල කරමින් ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කිරීමට ඉන්දීය ක්‍රීඩකයන් සමත්වූවත් එම අර්ධයේ පළමු භාගය තුළ ඔවුන්ට ගෝලයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා පසුපෙළ ක්‍රීඩකයන් අවස්ථාව ලබා දුන්නේ නැහැ.

එම අර්ධය තුළ ගෝලයක් ලබා ගැනීමට අවස්ථාවක් නිර්මාණය කරගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ද නොහැකි වීමත්, පෙර තරගවල දී මෙන්ම සුජාන් පෙරේරාගේ දක්ෂ ගෝල රැකීමත් නිසා පළමු අර්ධය ගෝල රහිතව අවසන් වුනා.

පළමු අර්ධය: ශ්‍රී ලංකාව 0 – 0 ඉන්දියාව

පළමු අර්ධයේ දී තබා ගත් පන්දු පාලනය දෙවැනි අර්ධයේ ද රඳවා ගනිමින් එම අර්ධයේ ද දැඩි ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් ඉන්දීය ක්‍රීඩකයන්ගෙන් දක්නට ලැබුනත්, ශ්‍රී ලංකා පසුපෙළ ක්‍රීඩකයන් සහ සුජාන්ගේ ආරක්ෂාකාරී ක්‍රීඩා විලාශය නිසා එම අර්ධයේ මුල් භාගයේ ද ඉන්දීය ක්‍රීඩකයන්ට ගෝල ලබා ගැනීමට හැකි වුනේ නැහැ.

71 වැනි මිනිත්තුවේ දී දඬුවම් රාමුව තුළ සිට ගෝලයට පහරක් එල්ල කරමින් ගෝලයක් ලබා ගැනීමට ඉන්දීය ක්‍රීඩක ෆාරුක් හට හැකි වුනත්, ක්‍රීඩක අනිසි ස්ථානගත වීමක් නිසා එම ගෝලය අවලංගු කිරීමට විනිසුරුවරයා තීරණය කළා.

තරගයේ සමස්ත කාලය අවසන් වනතුරුම කිසිදු ගෝලයක් රැස් කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ද නොහැකි වුනත්, ශ්‍රී ලංකාවට තරගාවලියේ පළමු ප්‍රසාද ලකුණ ගෙන දෙමින් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුනා.

අවසන් ලකුණු තත්වය: ශ්‍රී ලංකාව 0 – 0 ඉන්දියාව

මෙවර දකුණු ආසියානු පාපන්දු ශූරතාවයේ ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරගය 10 වැනිදා ශ්‍රී ලංකා වේලාවෙන් සවස 4.30ට වත්මන් ශූරයන් වන මාලදිවයින සමඟ පැවැත්වීමට නියමිතයි.

SAFF තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<