“2011 පිළිබඳ ඕනෙම වෙලාවක උත්තර දෙන්න පුළුවන්” – සංගක්කාර BBC හමුවේ කියයි

3017

ශ්‍රේෂ්ඨ ශ්‍රී ලංකා වමත් පිතිකරු කුමාර් සංගක්කාර අද (14) එංගලන්තයේ BBC සිංහල මාධ්‍ය හමුවේ අදහස් දැක්වීමකට එක්ව සිටියේය. එය ෆේස්බුක් සමාජ ජාලය හරහා සජීව ලෙස නැරඹීමේ අවස්ථාව සුවහසක් ප්‍රේක්ෂකයන් වෙත ලබාදී තිබූ අතර ඊයේ සහ පෙරේදා දින කිහිපය තුළදී උද්ගත වූ ගැටලු රැසකට එහිදී සංගක්කාර පිළිතුරු ලබාදුන්නේය.

පෙරේදා එංගලන්තයේ සිට ස්කයිප් ඔස්සේ ශ්‍රී ලංකා මාධ්‍යවේදීන් හමුවූ සංගක්කාරගෙන් අර්ජුන රණතුංග මහතා විසින් කරන ලද ප්‍රකාශයක් පිළිබඳ ප්‍රශ්න කිරීමේදී සංගක්කාර පවසා සිටියේ “2009 ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණයක් කළ යුතු බව”යි. ඊට පැය කිහිපයකට පසු කොළඹ පැවති මාධ්‍ය හමුවකදී 2009 ක්‍රිකට් සභාපතිව සිටි අර්ජුන රණතුංග විසින් “2011 ලෝක කුසලාන අවසන් මහා තරගය ගැන” වේගවත් ප්‍රතිචාරයක් දැක්වීමත් සමඟ ප්‍රේක්ෂකයන්ගේ මනස් තුළ යම් ගැටලුවක් පැනනැගිණි.

ඒ වෙනුවෙන් පිළිතුරු ලබාගැනීම සඳහා BBC සිංහල මාධ්‍ය වෙත පැමිණි සංගක්කාර මෙසේ පැවසුවේය. 2011 අවසන් මහා තරගයේදී කළ විවාදාත්මක ක්‍රීඩක ආදේශනයන් 4 පිළිබඳ විමසීමේදී ඔහු මෙසේ කීය.

“ඇන්ජලෝ (ඇන්ජලෝ මැතිව්ස්) ආබාධයකට ලක්වුණා. එහිදී පිතිකරුවන් 7කුයි පන්දු යවන්නන් 4කුයි ක්‍රීඩා කරනවාද, නැතිනම් පිතිකරුවන් 6යි පන්දු යවන්නන් 5යි ක්‍රීඩා කරනවාද කියලා ගැටලුවක් තිබුණා. මුරලිත් (මුත්තයියා මුරලිදරන්) සම්පූර්ණ සුවතාවයෙන් සිටියේ නැහැ. චාමර සිල්වා ඒ වෙලාවෙ යම් ආකාරයක පසුබැස්මක හිටියා. ඉතින් අරවින්ද ද සිල්වා, අනුර තෙන්නකෝන්, පුහුණුකරුවන් දෙදෙනා යන හැමෝගෙම එකඟතාවයෙන් තමයි මෙය සිදුකළේ. ඒ හින්දයි ක්‍රීඩකයන් ආදේශ කළේ. ඒ ගැන ඕනෙම වෙලාවක උත්තර දෙන්න පුළුවන්.”

2011 ලෝක කුසලාන අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකාව, ඉන්දියාව හමුවේ පරාජය වූ අතර එහිදී ප්‍රබල ක්‍රීඩකයෙකු වූ ඇන්ජලෝ මැතිව්ස්ගේ අඩුපාඩුව හොඳින්ම දැනිණි. ඒ ගැන මතභේදාත්මක තත්වයක් ඇතිවූයේ පරාජයේ වේදනාවත් සමඟයි.

“අවාසනාවට අපි ඒ තරගය පැරදුණා. එක පාරක් නෙමෙයි අවසන් තරග 4ක්ම. ඒක අපටත් ලොකු කණගාටුවක්. ඒකයි අපි නැගිටලා 2014දි විස්සයි-විස්ස ලෝක කුසලාන ජයග්‍රහණය ගත්තේ.” සංගක්කාර එකතු කළේය.

දැනට හිස්ව පවතින ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ධූරයට චන්දික හතුරුසිංහ සහ මහේල ජයවර්ධන වැන්නන් සලකාබැලීම කෙසේවේදැයි විමසීමේදී ඔහු කියාසිටියේ,

“පාලක මණ්ඩලය සහ අසංක ගුරුසිංහ මහතා ඒ තීරණය ගත යුතුව තිබෙනවා. දැන් ඔවුන්ට අලුතින් පටන්ගන්න පුළුවන්. චන්දිකට මං ඉතාමත් කැමති පුහුණුකිරීමේ විලාශයක් තිබෙනවා. අලුත්, පරණ කියලා ඔහුගේ වෙනසක් නැහැ. මහේල අපි දැක්කා මුම්බායි කණ්ඩායමත් එක්ක දක්ෂ පුහුණුකරණයක් පෙන්වනවා.” යනුවෙනි.

“කාලෙකදී මුරලි, මම සහ මහේලත් කතාකරලා ඩී.එස්. ද සිල්වා මහත්තයගෙන් ඉල්ලුවා චන්දිකව ගෙනත් දෙන්න කියලා. ඔහු බොහොම හොඳින් ඒ දිහා බලල අපට ඔහුව ගෙනත් දුන්නා. අවාසනාවකට ඉන්පස්සේ යම් හේතුවකට ඔහු (චන්දික) ශ්‍රී ලංකාව හැරගියා. මං ඊට පස්සේ ලියුමකුත් ලිව්වා ඒ ගැන. අපිට වටිනා සම්පතක් නැතිවුනා.” චන්දිකගේ නික්මයාම සිහිකරමින් සංගක්කාර එසේ කීවේය.

කෙසේ වෙතත් ඔහු පරීක්ෂණයකට සූදානම් ය. සූදානම් නොවන්නේ කවුරුන්ද?

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට