ජාතික මලල ක්‍රීඩා ශූරතාවය දෙසැම්බර් මස අගදී

149

ජාතික මලල ක්‍රීඩා පිටියේ තරගාවලි ඉඩෝරයට තිත තබමින් ජාතික මලල ක්‍රීඩා ශූරතාවය මේ මස (දෙසැම්බර්) 26, 27 සහ 28 යන තෙදින කොළඹ සුගතදාස එළිමහන් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව ඇති බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය නිවේදනය කරන ලදි.

කොරෝනා වසංගතය නිසාවෙන් වරින් වර පසුපසට ඇදුණු මෙම තරගාවලිය මේ වසර තුල දී පැවැත්වීමේ අවිනිශ්චිතතාවකට ද පත් ව තිබූ නමුත් අදාළ සෞඛ්‍යාරක්ෂිත පියවර අනුගමනය කරමින් තරගාවලිය පැවැත්වීමට මලල ක්‍රීඩා සංගමය තීරණය කර ඇත.

තරගාවලිය සඳහා සුදුසුකම් ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නාම ලැයිස්තුව පසුගිය මාසයේ දී ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් නිකුත් කර තිබූ අතර එයට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා පිටියේ ඉහළ දස්කම් දැක්වූ හිමාෂ ඒෂාන්, අරුණ දර්ශන, අමාෂා ද සිල්වා, ශෙලින්ඩා ජැන්සන්, දිල්ෂි කුමාරසිංහ ඇතුළු ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් ඇතුළත්ව තිබුණි.

එමෙන්ම නිමා වූ දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දස්කම් දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බොහෝමයකට ජාතික මලල ක්‍රීඩා ශූරතාවය සඳහා සහභාගි වීමට වරම් හිමි වී තිබූ නමුත් 2019 වසරේ කාන්තා මීටර් 200 ජාතික ශූරිය වූ ශර්මිලා ජැන්ගේ නම එම ලැයිස්තුවට ඇතුළත්ව නොතිබීම පුදුමයට කරුණක් විය.

තරගාවලියේ මූලික ලැයිස්තුව සඳහා ඇතුළත් නොවූ සීමිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසකට මලල ක්‍රීඩා සංගමය වෙත අභියාචනා ඉදිරිපත් කිරීමෙන් තරගාවලිය සඳහා ඇතුළත් වීමට අවස්ථාවක් ලබා දී තිබූ අතර එම අභියාචනා ඉදිරිපත් කිරීමට ලබා දී තිබූ කාලය පසුගිය අඟහරුවාදායින් (08) අවසන් විය.

තවත් මලල ක්‍රීඩා පුවත්:

කොරෝනා වසංගතය නිසාවෙන් ලෝකයේම බොහෝ ක්‍රීඩා කටයුතු නැවතී තිබෙන පසුබිමක පැවැත්වෙන මෙම තරගාවලිය ප්‍රධාන වශයෙන් ලබන වසරේ පැවැත්වීමට නියමිත ගිම්හාන ඔලිම්පික් උළෙල ඉලක්ක කරගනිමින් පැවැත්වේ.

එමෙන්ම තරගාවලිය සඳහා සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්, නිලධාරීන්, ආරාධිතයන් ඇතුළු සියල්ලම දැඩි සෞඛ්‍ය රෙගුලාසි අනුගමනය කරමින් සිය වැඩකටයුතු කළ යුතු අතර තරගාවලිය සෞඛ්‍ය බලධාරීන්ගේ අධීක්ෂණය යටතේ පැවැත්වීමට නියමිතව ඇත.

මෙවර තරගාවලිය නැරඹීම සඳහා ප්‍රේක්ෂකයන් හට අවස්ථාවක් හිමි නොවන අතර තරගාවලිය පිළිබඳව සියලූම තොරතුරු එසැනින් ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අප සූදානමින් පසුවේ. තරගාවලිය පිළිබඳව සියලූම තොරතුරු දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<