Real Madrid ක්‍රීඩාංගණයේ නවීකරණයෙන් එක් අසුනක් අහිමි වේ

149

ස්පාඤ්ඤයේ ප්‍රබල Real Madrid පාපන්දු සමාජයේ Santiago Bernabeu ක්‍රීඩාංගණය නවීකරණය ලක්කිරීමෙන් අනතුරුව දිස්වෙන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් ඔවුන් නිකුත් කර ඇත.

ඒ අනුව යූරෝ මිලියන 500ක දැවැන්ත මුදලක් වැය කරමින් සිදුවන මෙම නවීකරණ ව්‍යාපෘතිය හරහා ක්‍රීඩාංගණයට නව පහසුකම් රැසක් එක්වුවත් එහි ආසන සංඛ්‍යාව එක් ආසනයකින් අඩුවන බවට ද වාර්තා වේ. 

‘Coronavirus’ වසංගත තත්වය දරුණු ලෙස බලපෑමත් සමඟ ස්පාඤ්ඤයේ සියලුම කටයුතු මේ වන විට අඩපණව පැවතියත්, වසර 73ක් පැරණි මෙම ක්‍රීඩාංගණයේ නවීකරණ ව්‍යාපෘතිය සැලසුම් කර තිබූ පරිදි ඉදිරියටත් සිදු කරගෙන යාම සඳහා පසුගිය මාර්තු මාසයේ දී අනුමැතිය ලැබුණු අතර එම කටයුතු 2022 වසරේ ඔක්තෝබර් මාසය වන විට සම්පූර්ණ කිරීමට අපේක්‍ෂා කරනු ලැබේ. 

එම නවීකරණ කටයුතු සියල්ල අවසානයේ ක්‍රීඩාංගණය දිස්වෙන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් Real Madrid විසින් මේ වන විට අන්තර්ජාලයට නිකුත් කිරීමට කටයුතු කර ඇත.

ඒ අනුව මෙම නවීකරණ හරහා ක්‍රීඩාංගණයට වසා දැමීමේ හැකියාව ඇති වහලයක් ඉදිකෙරෙන අතර ඒ හරහා ඕනෑම කාලගුණ තත්වයක් යටතේ කිසිදු බාධාවකින් තොරව පාපන්දු තරග පවත්වා ගෙන යාමේ හැකියාව ලැබේ. 

තවදුරටත් එය අංශක 360ක ක්‍රීඩාංගණය වටා දිවෙන නවීන තාක්ෂණයෙන් යුතු ඩිජිටල් දර්ශන පථයකින් ද සමන්විත වනු ඇත. ඊට අමතරව ඒ තුළ ඇති ඔවුන්ගේ කෞතුකාගාරය ද මේ හරහා නවීකරණය වන අතර තවත් විනෝදාස්වාදය ලබාගත හැකි පහසුකම් රැසක් ද මේ හරහා ස්ථාපිත කිරීමට නියමිත ය.

ක්‍රීඩාංගණය වටා දිවෙන අංශක 360 ඩිජිටල් දර්ශන පථය
වසා දැමීමේ හැකියාව ඇති වහලය

සමස්තයක් ලෙස ක්‍රීඩාංගණ පරිශ්‍රය ද වර්ග මීටර 66,000කින් විශාල කිරීමට මේ හරහා පියවර ගැනෙන අතර ඒ තුළ නව හෝටලයක්, සුපිරි අවන්හල් සහ කඩ සාප්පු රැසක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත. 

කෙසේ නමුත් මෙම සිදු වන නවීකරණ හරහා මේ වන විට ක්‍රීඩාංගණයේ ආසන ධාරිතාවය වන 80,243ක සංඛ්‍යාව 80,242 දක්වා එක් ආසනයකින් අඩුවීමට නියමිත බව ද වාර්තා වේ. 

තවත් කියවන්න; 

මෙම දැවැන්ත ව්‍යාපෘතිය සඳහා යූරෝ මිලියන 500ක මුදලක් වැයවීමත් සමඟ එළඹෙන ක්‍රීඩකයින් මිලදී ගැනීමේ කාලවකවානුවේ දී ක්‍රීඩකයින් කණ්ඩායමට එක්කර ගැනීමට මේ හරහා සීමා පැනවෙනු ඇති අතර ඒ අනුව නවක ක්‍රීඩකයින් මිලදී ගැනීමට නම් මේ වන විට කණ්ඩායමේ සිටින ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම එහි කළමනාකරු Zinedine Zidane හට විකුණා දැමීමට සිදු වනු ඇති බව නොඅනුමාන ය. 

කෙසේ නමුත් යුරෝපය පුරා පාපන්දු තරග ‘Coronavirus’ තත්වය හේතුවෙන් දින නියමයකින් තොරව කල්දමා තිබීමත් සමඟ මේ වන විට ක්‍රීඩාංගණය ක්‍රීඩා කටයුතු සඳහා භාවිතා නොකිරීම හේතුවෙන් මේ වන විට එය වයිරසයට එරෙහිව සටන් වදින එම ප්‍රදේශයේ ඇති රෝහල් සඳහා සහය වීමට ලබා දී ඇත. 

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<