Messi-Ronaldo විවාදයට Beckham සහ Rooneyගෙන් පිළිතුරු

88
International Football

මේ වන විට පාපන්දු ලොව කාගේත් ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබෙන Lionel Messi සහ Cristiano Ronaldo දෙපළගෙන් හොඳම ක්‍රීඩකයා කවුරුන් ද යන විවාදයට David Beckham සහ Wayne Rooney පසුගියදා පිළිතුරු දෙනු ලැබූහ. 

පසුගිය වසර 15ක පමණ කාලය පුරාවට ලෝක පාපන්දු ක්‍රීඩාවේ ඉදිරියෙන්ම සිටි ක්‍රීඩකයින් දෙපළ Messi සහ Ronaldo බව ඕනෑම කෙනෙකු අවිවාදයෙන්ම පිළිගන්නා කරුණකි. Messi සිය වෘත්තීය පාපන්දු දිවියේ ආරම්භයේ සිට අද දක්වාම ස්පාඥ්ඥයේ FC Barcelona පාපන්දු සමාජය නියෝජනය කරනු ලැබූ අතර අනෙක් පසින් Ronaldo මේ වන විට ඉතාලියේ Juventus පාපන්දු සමාජය නියෝජනය කරනු ලැබුවත් ඊට පෙර ඔහු ස්පාඥ්ඥයේ Real Madrid මෙන්ම එංගලන්තයේ Manchester United කණ්ඩායම් ද නියෝජනය කරනු ලැබීය. මෙහිදී FC Barcelona සහ Real Madrid කණ්ඩායම් අතර ඉතිහාසයේ සිට පැවත එන තරගකාරීත්වය සහ Messi සහ Ronaldo එහිදී ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් නියෝජනය කිරීම නිසා ඔවුන් දෙදෙනා අතරින් හොඳම ක්‍රීඩකයා කවුරුන් දැයි යන්න පිළිබඳව විවිධ සංසන්දන ඉදිරිපත් වන්නට විය. 

එම සංසන්දන මේ වන විට පාපන්දු ලොව විශාලතම විවාද අතරින් එකක් දක්වා පරිවර්තනය වී ඇති අතර ඒ පිළිබඳව විවිධ මත ඉදිරිපත් කරන පාපන්දු විශ්ලේෂකයින්, පුහුණුකරුවන්, ක්‍රීඩකයින් මෙන්ම පාපන්දු ලෝලීන් ද දස දහස් ගණන් ය. ඒ අනුව Messi සහ Ronaldo දෙපළ අතුරින් ඉදිරියෙන්ම සිටින ක්‍රීඩකයා කවුරුන් ද යන ගැටලුවට පිළිතුරු ලබාදී ඇති නවතම පුද්ගලයින් දෙපළ වන්නේ එංගලන්තය නියෝජනය කරනු ලැබූ ප්‍රබල පාපන්දු ක්‍රීඩකයින් දෙපළක් වන Beckham සහ Rooney ය. 

මෙහිදී එම ගැටලුවට පිළිතුරු ලබා දෙමින් Beckham ප්‍රකාශ කර සිටියේ; 

“ක්‍රීඩකයෙක් විදිහට Messiගේ තත්වේ ඉන්නේ Messi විතරම යි. ඔහුගේ මට්ටමේ වෙන කෙනෙක් ඉන්නවා කියන්නේ කවදාවත් නොවෙන දෙයක්. Ronaldo ඔහුගේ මට්ටමේම නැතත් Messi සහ Ronaldo අනෙක් සෑම ක්‍රීඩකයෙකුටම වඩා ඉහළින් ඉන්නවා කියන එක පිළිගත යුතුයි.” ලෙසයි. 

ඒ අනුව ආජන්ටිනා රාජ්‍යයේ පුවත් ආයතනයක් වන Telam සමඟ අදහස් දක්වමින් මෙහිදී Beckham විසින් Ronaldoට ඉහළින් Messi සිටින බව පිළිගෙන ඇති නමුත් සමස්තයක් ලෙස ඔවුන් දෙදෙනා අන් සෑම ක්‍රීඩකයෙකුටම වඩා ඉහළ තලයක සිටින බව ද ඉස්මතු කර දක්වා ඇත. UEFA Champions League ශූරතාවය, Premier League සහ La Liga ශූරතා, 1999 වසරේ Ballon d’Or සම්මානයේ අනුශූරතාවය ඇතුළු තවත් ශූරතා සහ සම්මාන රැසක් දිනාගෙන ඇති Beckham, පාපන්දු ක්‍රීඩාවට සමු දී සිටින අතර මේ වන විට ඔහු ඇමෙරිකාවේ Inter Miami CF පාපන්දු කණ්ඩායමේ හිමිකාරීත්වය දරයි. මෙහිදී Ronaldo නියෝජනය කරනු ලැබූ කණ්ඩායම් ද්විත්වයක් වන Real Madrid සහ Manchester United කණ්ඩායම් Beckahm විසින් ද නියෝජනය කර තිබිය දී ඔහු ඔවුන් දෙදෙනා අතරින් Messiව තෝරාගැනීම විශේෂ සිදුවීමක් ලෙස හඳුනාගත හැක. 

අනතුරුව එම ගැටලුව පිළිබඳවම එංගලන්තයේ The Times සමඟ අදහස් දක්වමින් Rooney ප්‍රකාශ කර සිටියේ; 

“අපි එකට ක්‍රීඩා කිරීම ආරම්භ කරපු කාලේ Ronaldo දැන් තරම් ගෝල වාර්තා කරගන්නට අවධානයක් දුන්නේ නැහැ. නමුත් එතකොට වුනත් අපිට තේරුණ දෙයක් තමයි ඔහුට අවශ්‍ය ලෝකේ හොඳම ක්‍රීඩකයා වෙන්න කියන එක. ඔහු උපරිමයෙන් පුහුණුවීම් කරලා තමයි දිනෙන් දින දියුණු වුනේ. ඔහු අද වන විට විශිෂ්ට ගෝල වාර්තා කරන්නෙක් බවට පත්වෙලා තියෙනවා. Ronaldo සහ Messi පාපන්දු ක්‍රීඩාවේ ඉතිහාසය තුළ බිහිවෙච්ච විශිෂ්ටම ක්‍රීඩකයින් දෙන්නෙක්.” 

“Ronaldo මගේ හොඳ යාළුවෙක් වුනත් මම මෙහිදී තෝරාගන්නේ Messiව. ඒ මම Xavi සහ Paul Scholesට කැමති හේතුව නිසාම යි. ඒ අනුව ඒකට හේතුව තමයි Messi තරගයක් තුළ සිදුකරනු ලබන වෙනස්ම දේවල්. මට මතක නැහැ කවදාවත් Messi තමන්ගේ උපරිම ශක්තියෙන් පන්දුවට පහර එල්ල කරලා ගෝල වාර්තා කරගන්නවා. ඔහු ඉතා පහසුවෙන් පන්දුව ගෝල රාමුව තුළට යොමු කරනවා. පාපන්දු ක්‍රීඩාව ඔහුට හරියට නිකං ඉතාම පහසු දෙයක් වගේ.”

මෙහිදී Rooney තවදුරටත් අදහස් දක්වමින් Messi පාපන්දු ක්‍රීඩාවේ නිරත වන අයුරු රසවත් ලෙස විස්තර කරන්නට ද විය. 

“Ronaldo ගෝල රාමු කලාපය තුළ ගොඩක් භයානකයි, ඔහු මාරයෙක්. නමුත් Messi ඔබව මරන්න කලින් ගොඩක් වධ හිංසා ලබා දෙනවා. Messi ක්‍රීඩා කරන විදිහෙන් අපිට තේරෙන්නේ ඔහු ඒකෙන් ලොකු විනෝදයක් ලබා ගන්නවා වගේ. ඔවුන් වාර්තා කරගෙන ඇති ගෝල සංඛ්‍යාව අනුව ඔවුන් දෙදෙනාම පාපන්දු ක්‍රීඩාව සම්පූර්ණයෙන්ම වෙනස් කරලා තියෙන්නේ. මම හිතන්නේ නැහැ ඒවා කවදාවත් කවුරුන් හෝ සම කරන්න සමත් වෙයි කියලා.” 

තවත් කියවන්න; 

මේ වන විට Rooney එංගලන්තයේ EFL Championship තරගාවලියේ කණ්ඩායමක් වන Derby County කණ්ඩායම නියෝජනය කරනු ලබන අතර ඔහු සමස්ත ගෝල 253ක් සමඟින් Manchester United කණ්ඩායමේ ඉතිහාසයේ වැඩිම ගෝල ලාභියාට හිමි වාර්තාව ද හිමිකර ගෙන සිටියි. ඒ ඔවුන් සමඟ UEFA Champions League ශූරතාවය, Premier League ශූරතාවන් ඇතුළු තවත් ශූරතා ගණනාවක් ද ජයග්‍රහණය කරමිනි. මෙහිදී Rooney සහ Ronaldo වසර 5කට අධික කාලයක් Manchester United කණ්ඩායම නියෝජනය කරමින් එකට ක්‍රීඩා කරනු ලැබූ අතර ඒ හරහා ඔවුන් දෙදෙනා හොඳ මිතුරන් බවට පත්වුනත් මෙහිදී Rooney විසින් Messi ඉදිරියෙන්‍ සිටින බව පැවසීම තවත් සුවිශේෂී වේ. 

පසුගිය වසර 12 තුළ වසර 11ක දීම ලෝකයේ හොඳම පාපන්දු ක්‍රීඩකයාට පිරිනැමෙන Ballon d’Or සම්මානය Messi-Ronaldo දෙපළ විසින් ජයග්‍රහණය කර ඇත්තේ මේ වන විට පාපන්දු ක්‍රීඩාවේ සිටින විශිෂ්ටතම ක්‍රීඩකයින් දෙපළ ඔවුන් දෙදෙනා බව තහවුරු කරමිනි. ඒ අනුව Messi සහ Ronaldo අතරින් හොඳම ක්‍රීඩකයා කවුරුන් ද යන විවාදය ඉදිරියටත් පැවතියත්, ඊට විවිධ මතිමතාන්තර ඉදිරිපත් වුවත්, ඔවුන් දෙදෙනාම එකම කාලය තුළ ක්‍රීඩා කරනු දකින්නට ලැබීම ලොව වටා පාපන්දු ලෝලීන්ගේ වාසනාවකි. 

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<