බ්‍රසීලය ගෙදර යද්දී අභියෝග මැද ආජන්ටිනාව අවසන් පූර්ව වටයට

පාපන්දු ලෝක කුසලානය 2022

5126
Croatia vs Brazil, Argentina vs Netherlands

පාපන්දු පිටිය උණුසුම් කරමින් කටාර් හී පැවැත්වෙන පාපන්දු ලෝක කුසලානයේ තීරණාත්මක අර්ධ අවසන් පූර්ව වටයේ තරග අද (09) ආරම්භ වුනා.

ක්‍රොඒෂියාව සහ බ්‍රසීලය

තරගයේ ආරම්භයේ සිටම ප්‍රබල බ්‍රසීලයට හොඳ අභියෝගයක් එල්ල කළ ක්‍රොඒෂියා ක්‍රීඩකයින් මුල් භාගයේ දී පන්දු පාලනය අතින් ඉදිරියෙන් සිටියත්, ගෝල ලබා ගැනීමට ඔවුන්ට හැකි වුනේ නැහැ.

ක්‍රොඒෂියා ක්‍රීඩකයින්ට නොදෙවෙනි ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කළ බ්‍රසීල ක්‍රීඩකයින් ගෝල ලබා ගැනීමට උත්සහ කළ අවස්ථා ද වැළැක්වී ගිය නිසා පළමු අර්ධය අවසන් වූයේ කිසිදු ගෝලයක් වාර්තා වෙමිනුයි.

66 වැනි මිනිත්තුවේ දී බ්‍රසීල ක්‍රීඩක Lucas Paqueta ගෝලයට එල්ල කළ පහරක් ඉතා දක්ෂ ලෙස නැවැත්වීමට ක්‍රොඒෂියා ගෝල රකින ක්‍රීඩක Dominik Livakovic සමත් වුනා.

ඉන්පසුව ද බ්‍රසීල ක්‍රීඩකයින් ගෝලයට එල්ල කළ පහරවල් කිහිපයක්ම වැළැක්වීමට Dominik Livakovicට හැකි වුනේ ලෝක අනුශූරයින් තවදුරටත් ලෝක කුසලානයේ රඳවා ගනිමිනුයි.

එම අර්ධය තුළ ද ගෝලයක් ලබා ගැනීමට ක්‍රොඒෂියා ක්‍රීඩකයින්ට නොහැකි වූ නිසා තරගයේ සම්පූර්ණ කාලය ගෝල රහිතව අවසන් වුනා. එම නිසාවෙන් විශේෂ අතිරේක කාලයක් ලබා දීමට විනිසුරුවරුන්ට සිදු වුනා.

අතිරේක කාලයේ පළමු අර්ධයේ අවසන් මිනිත්තුවේ දී Lucas Paqueta ලබා දුන් පන්දුවක්, මෙතෙක් වේලාවක් සුපිරි ගෝල රැකීමක නිරත වූ Dominik Livakovic පසු කර රැගෙන විත් ගෝලයට එල්ල කරමින් තීරණාත්මක ගෝලය රැස් කිරීමට සුපිරි ක්‍රීඩක Neymar සමත් වුනා.

අතිරේක කාලය අවසන් වීමට මිනිත්තු හතරක් තිබිය දී ලැබුණු පන්දුවක් ගෝලය තුළට සාර්ථකව එල්ල කිරීමට ක්‍රොඒෂියා ක්‍රීඩක Bruno Petkovicට හැකි වුනේ තරගයේ තීරණය දඬුවම් පහර වටයකට ගෙන යමිනුයි.

Croatia vs Brazilදඬුවම් පහර වටයේ දී සිය දස්කම් නැවතත් ඉහළින් ප්‍රදර්ශනය කළ ක්‍රොඒෂියා ක්‍රීඩකයින් ගෝල 4-2ක් ලෙස එම වටය ජයග්‍රහණය කරන්නට සමත් වුනා.

ඒ සමඟින් මෙවර ලෝක කුසලානයේ ප්‍රබලතම කණ්ඩායම ලෙස සැලකූ බ්‍රසීලය තරගාවලියෙන් ඉවත් කරමින් නොකඩවා දෙවැනි වරටත් ලෝක කුසලාන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ක්‍රොඒෂියාවට හැකි වුනා.

අවසන් ලකුණු තත්වය: බ්‍රසීලය 01 – 01 ක්‍රොඒෂියාව

ගෝල ලබා ගත් ක්‍රීඩකයින්,

  • බ්‍රසීලය: Neymar 105+1’,
  • ක්‍රොඒෂියාව: Bruno Petkovic 117’

දඬුවම් පහර වටය: බ්‍රසීලය 2-4 ක්‍රොඒෂියාව

දඬුවම් පහර ලබා ගත් ක්‍රීඩකයින්,

  • බ්‍රසීලය: Casemiro, Pedro
  • ක්‍රොඒෂියාව: Nikola Vlasic, Lovro Majer, Luka Modric, Mislav Orsic

ආජන්ටිනාව සහ නෙදර්ලන්තය

35 වැනි මිනිත්තුවේ දී ම සිය ආධිපත්‍ය පෙන්නුම් කළ ආජන්ටිනා කණ්ඩායම වෙනුවෙන් Lionel Messi ලබා දුන් පන්දුවක් ප්‍රතිවාදී ගෝල රකින්නා පසු කරමින් ගෝලයට සාර්ථකව එල්ල කිරීමට Nahuel Molinaට හැකි වුනා.

පළමු අර්ධයේ වැඩි පාලනයක් රඳවා ගැනීමට ආජන්ටිනාවට හැකි වූ නිසා එම අර්ධයේ කිසිදු ගෝලයක් වාර්තා කිරීමට නෙදර්ලන්තයට හැකි වුනේ නැහැ.

71 වැනි මිනිත්තුවේ දී නෙදර්ලන්ත ක්‍රීඩකයෙකු දඬුවම් රාමුව තුළ සිදු කළ වරදක් නිසා ආජන්ටිනාවට දඬුවම් පහරක් හිමි වූ දඬුවම් පහර එල්ල කිරීමේ වගකීම හිමිවුනේ සුපිරි ක්‍රීඩක Lionel Messi හටයි.

එම දඬුවම් පහර ඉතා සාර්ථකව ලබා ගත් Lionel Messi පන්දුව ගෝලයේ දකුණු කෙළවරින් ගෝලය තුළට එල්ල කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණයට ආසන්න කළේ ආජන්ටිනා ප්‍රේක්ෂකයින්ගේ සතුට දෙගුණ තෙගුණ කරමිනුයි.

Argentina vs Netherlandsනමුත් 83 වැනි මිනිත්තුවේ දී දඬුවම් රාමුවට පැමිණි පන්දුවක් හිසින් ගෝලයට එල්ල කරමින් සිය කණ්ඩායම නැවතත් තරගයට රැගෙන ඒමට නෙදර්ලන්ත ක්‍රීඩක Wout Weghorstට හැකි වුනා.

එම ගෝලයෙන් පසුව ඉතා උණුසුම් වූ මෙම තරගයේ වරින්වර ක්‍රීඩකයින් අතර ගැටුම් ඇති වනු ද දක්නට ලැබුණා.

ආජන්ටිනා කණ්ඩායම ජයග්‍රහණයට ඉතා ආසන්නව සිටිය දී, එනම් තරගයේ අවසන් අතිරේක කාලයේ අවසන් මිනිත්තුවේ දී, නැවතත් ක්‍රියාත්මක වූ Wout Weghorst නිදහස් පහරක් මගින් ලැබුණු පන්දුවක් ගෝලයට එල්ල කිරීමට සමත් වුනේ ආජන්ටිනා ප්‍රේක්ෂකයින්ගේ හදවත ද මොහොතකට නතර කරමිනුයි.

එම ගෝලයත් සමඟ දිනයේ දෙවැනි වතාවටත් අතිරේක කාලයකට යෑමට විනිසුරුවන්ට සිදු වුනා. අතිරේක අමතර කාලයේ පළමු අර්ධයේ දෙපිලම සටන්කාමී ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළත් ගෝල ලබා ගැනීමට හැකි වුනේ නැහැ.

අමතර කාලයේ දෙවැනි අර්ධයේ දී ගෝලයක් ලබා ගැනීමට ලැබූ අවස්ථා කිහිපයක්ම Enzo Fernandez හට මඟහැරීම නිසා තරගයේ තීරණය ලබා දීමට සිදු වුනේ දඬුවම් පහර මගිනියි.

තරගාවලියේ දක්නට ලැබුණු ඉතාම උණුසුම් දඬුවම් පහර වටයකින් පසු එම වටය ගෝල 4-3ක් ලෙස ජයග්‍රහණය කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ප්‍රබල ආජන්ටිනාවට හැකි වුනා.

අවසන් ලකුණු තත්වය: ආජන්ටිනාව 02 – 02 නෙදර්ලන්තය

ගෝල රැස් කළ ක්‍රීඩකයින්,

  • ආජන්ටිනාව: Nahuel Molina 35’, Lionel Messi (P)
  • නෙදර්ලන්තය: Wout Weghorst

දඬුවම් පහර වටය: ආජන්ටිනාව 04 – 03 නෙදර්ලන්තය

  • ආජන්ටිනාව: Lionel Messi, Leandro Paredes, Gonzalo Montiel, Lautaro Martinez
  • නෙදර්ලන්තය: Teun Koopmeiners, Gonzalo Montiel, Wout Weghorst, Luuk de Jong

ප්‍රංශය සහ එංගලන්තය අතර සහ පෘතුගාලය සහ මොරොක්කෝව අතර අර්ධ අවසන් පූර්ව තරග හෙට (10) පැවැත්වීමට නියමිතයි. එම ලෝක කුසලානයේ උණුසුම සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<