ලෝක ශූර ප්‍රංශය සහ එංගලන්තය සුපිරි 8ට

පාපන්දු ලෝක කුසලානය 2022

1045

2022 පාපන්දු ලෝක කුසලානයේ අවසන් 16 දෙනාගේ වටයේ අද (04) පැවති තරගවලින් ජයග්‍රහණ වාර්තා කරන්නට ලෝක ශූර ප්‍රංශය සහ එංගලන්තය සමත් වුනා.

එංගලන්තය සහ සෙනගාලය

එංගලන්ත ක්‍රීඩකයින් ආධිපත්‍ය පැතිර වූ මෙම තරගයෙන් ගෝල 3-0ක් ලෙස සෙනගාලය පරාජය කරන්නට ඔවුන්ට හැකි වුනා.

ප්‍රබල එංගලන්තයට ආරම්භයේ දී හොඳ අභියෝගයක් එල්ල කළ සෙනගාලයට 23 වැනි මිනිත්තුවේ දී ගෝලයක් වාර්තා කිරීමට ආසන්න අවස්ථාවක් හිමි වුනත්, එය සාර්ථක කර ගැනීමට හැකි වුනේ නැහැ.

තරගයේ පළමු ගෝලය වාර්තා කළේ එංගලන්ත ක්‍රීඩක Jordan Henderson විසිනුයි. 38 වැනි මිනිත්තුවේ දී ලැබුණු පන්දුවක් ගෝලයට සාර්ථකව එල්ල කරමින් ඔහු එම ගෝලය ලබා ගත්තා.

 පළමු අර්ධයේ අමතර කාලයේ දී ලැබූ පන්දුවක් ප්‍රතිවාදී ගෝල රකින්නාට නැවතීමට කිසිදු ඉඩක් නොතබමින් ගෝලය තුළට එල්ල කරමින් පළමු අර්ධය ගෝල 2-0ක් ලෙස අවසන් කිරීමට සුපිරි ක්‍රීඩක Harry Kaneට හැකි වුනා.

දෙවැනි අර්ධයේ ද සිය ආධිපත්‍ය පැතිර වූ එංගලන්තය වෙනුවෙන් 57 වැනි මිනිත්තුවේ දී ලැබුණු පන්දුවක් ගෝලය ආසන්නයේ සිට ගෝලය තුළට එල්ල කිරීමට Bukayo Sakaට හැකි වුනේ ප්‍රතිවාදී ගෝල රකින්නාට සිතීමට පවා ඉඩක් නොතබමිනුයි.

එම ගෝලයෙන් පසුව වෙනත් කිසිදු ගෝලයක් වාර්තා නොවූ නිසා තරගය 3-0ක් ලෙස ජයග්‍රහණය කරමින් අවසන් කණ්ඩායම් 08ට වරම් දිනා ගන්නට එංගලන්තය හැකි වුනා.

අවසන් ලකුණු තත්වය: එංගලන්තය 03 – 00 සෙනගාලය

ගෝල රැස් කළ ක්‍රීඩකයින්,

  • එංගලන්තය: Jordan Henderson 38’, Harry Kane 45+3’, Bukayo Saka 57’

පෝලන්තය සහ ප්‍රංශය

ආරම්භයේ සිටම ඉතා උණුසුම් වූ මෙම තරගයේ 21 වැනි මිනිත්තුවේ දී ගෝලයක් ලබා ගැනීමට තිබුණු ආසන්නතම අවස්ථාවක් සුපිරි ක්‍රීඩක Robert Lewandowskiට මඟ හැරී ගියා.

38 වැනි මිනිත්තුවේ දී පෝලන්ත ක්‍රීඩකයින්ට ගෝලයක් වාර්තා කර ගැනීමට අවස්ථා කිහිපයක්ම හිමි වූවත්, ඒ සියල්ල වැළකී ගියේ ප්‍රංශ ගෝල රකින්නාගේ සහ පසුපෙළ ක්‍රීඩකයින්ගේ දස්කම් නිසයි.

එම ක්‍රීඩකයින්ගේ උත්සහයට ඉතා සාධාරණයක් ඉටු කරමින් තරගයේ පළමු ගෝලය 43 වැනි මිනිත්තුවේ දී වාර්තා කිරීමට ප්‍රංශ ක්‍රීඩක  Olivier Giroudට හැකි වුනා. ආරක්ෂක ක්‍රීඩකයින් දෙදෙනෙකු පසු කරමින් දඬුවම් රාමුවට ගෙන ආ පන්දුවක් ගෝලයට එල්ල කරමින් ඔහු එම ගෝලය වාර්තා කළා.

එම අර්ධයේ අවසන් මිනිත්තු කිහිපයේ ගෝලයක් වාර්තා කිරීමට පෝලන්තයට යළි අවස්ථාවක් හිමි වූවත්, එය ද ඉතා සාර්ථකව වැළැක්වීමට ප්‍රංශ ගෝල රකින්නාට හැකි වුනා.

ලෝක ශූර ප්‍රංශයට අවශ්‍ය වූ ගෝල පරතරය ලබා දෙමින් 73 වැනි මිනිත්තුවේ දී ගෝලයක් වාර්තා කිරීමට සුපිරි ක්‍රීඩක Kylian Mbappeට හැකි වුනා.

තරගයේ අවසන් අමතර කාලයේ දී ලැබූ පන්දුවක් ගෝලයට එල්ල කර සිය ගෝල දෙවැනි ගෝලය වාර්තා කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කිරීමට Kylian Mbappeට හැකි වුනා.

තරගය අවසන් වීමට මිනිත්තු කිහිපයක් තිබිය දී ප්‍රංශ ක්‍රීඩකයෙකු දඬුවම් සීමාවේ කළ වරදක් නිසා පෝලන්තයට දඬුවම් පහරක් හිමි වූවත්, Robert Lewandowski එල්ල කළ එම දඬුවම් පහර සාර්ථක වුනේ නැහැ.

නමුත් එම දඬුවම් පහර නැවත නැරඹීමෙන් පසුව එහි ගැට‍ලුවක් ඇති බව වටහා ගත් විනිසුරුවරයා නැවත එම පහර ලබා දුන් අතර එහි දී එම පහර සාර්ථක කර ගනිමින් ගෝලයක් වාර්තා කිරීමට Robert Lewandowskiට හැකි වුනත් එය තරගයේ වෙනසක් කිරීමට ප්‍රමාණවත් වුනේ නැහැ.

අවසන් ලකුණු තත්වය: ප්‍රංශය 03 – 01 පෝලන්තය

ගෝල රැස් කළ ක්‍රීඩකයින්,

  • ප්‍රංශය: Olivier Giroud 43’, Kylian Mbappe 73’ & 90+1’
  • පෝලන්තය: Robert Lewandowski 90+9’

පාපන්දු ලෝක කුසලානයේ අවසන් 16 දෙනාගේ වටයේ ජපානය සහ ක්‍රොඒෂියාව අතර තරගය සහ බ්‍රසීලය සහ දකුණු කොරියාව අතර තරගය අද (05) පැවැත්වීමට නියමිතයි. එම තරග ඇතුළු තරගාවලියේ තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<