Kohli නායකත්වයෙන් ඉවතට; නව නායකයෙක් කණ්ඩායමට

2514
CricAddictor

ඉන්දීය එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ආරම්භක පිතිකරු Rohit Sharma හට ලබා දීමට ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබෙනවා. ඒ වත්මන් නායක Virat Kohliව එම ධුරයෙන් ඉවත් කරමිනුයි.

තමන් විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් වන බව Virat Kohli 2021 විස්සයි විස්ස ලෝක කුසලානයට පෙර නිවේදනය කළ අතර ඔහුගෙන් පසුව විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වය ද හිමි වුනේ Rohit Sharma හටයි. ඒ අනුව 2023 පන්දුවාර 50 ලෝක කුසලානය තෙක් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ සීමිත පන්දුවාර නායකත්වය Rohit Sharma විසින් දරනු ලබනවා.

Kohli සීමිත පන්දුවාර කණ්ඩායමේ නිත්‍ය නායකත්වය භාර ගත්තේ 2017 වසරේ ජනවාරි මාසයේ දීයි. තරග ජයග්‍රහණ – පරාජ අනුපාතය සැලකු විට Kohli ලොව හොඳම නායකයින් සිව් දෙනා අතර සිටින නමුත් ඔහුගේ නායකත්වය යටතේ ඉන්දියාවට ICC තරගාවලියක් ජය ගන්නට හැකියාව ලැබුණේ නැහැ. ඔවුන් 2017 ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ අනුශූරතාවය දිනා ගත් අතර 2019 එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයෙන් ඉවත් වුනා.

නිමා වූ 2021 විස්සයි විස්ස ලෝක කුසලානයේ දී පාකිස්තානය හා නවසීලන්තයෙන් පරාජය වූ ඉන්දියාව තරගාවලියේ පළමු වටයෙන් ඉවත් වුනා.

මීට අමතරව ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයේ ද වෙනසක් කිරීමට ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබෙනවා. ඒ අනුව වත්මන් ටෙස්ට් උපනායක Ajinkya Rahane එම ධුරයෙන් ඉවත් කර එම වගකීම ද Rohit Sharma හට පවරා තිබෙනවා.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<