Pat Cummins වාර්තා පොත් අතරට

අළුබඳුන තරගාවලිය 2021

522
Image Courtesy: WallTube

එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර අද (08) ආරම්භ වූ සුප්‍රකට අළුබඳුන තරගාවලියේ පළමු තරගයේ දී එංගලන්ත කණ්ඩායමේ කඩුලු පහක් දවා ගැනීමට ඕස්ට්‍රේලියානු නායක Pat Cumminsට හැකි වුනා.

Brisbane නුවර Gabba ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ මෙම තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායමේ පිතිකරුවන් හට දැඩි අභියෝගයක් එල්ල කළ Cummins ලකුණු 38කට කඩුලු 5ක් දවා ගනිමින් නායකයෙකු ලෙස ටෙස්ට් ඉනිමක කඩුලු පහක් දවා ගත් සුවිශේෂී ක්‍රීඩක ලැයිස්තුවට එක්වූ අතර ඔහුට පෙර Anil Kumble, Courtney Walsh ඇතුළු ප්‍රවීණ ක්‍රීඩකයන් කිහිප දෙනෙකු මෙම දස්කම දක්වා තිබුණා.

2019 වසරේ දී ඇෆ්ගනිස්තාන ක්‍රීඩක Rashid Khanට පසු නායකත්වය දැරූ පළමු තරගයේම කඩුලු පහක් දවා ගත් පළමු ක්‍රීඩකයා වීමට ද Cumminsට හැකි වුනා. Rashid Khan බංග්ලාදේශයට එරෙහිව මෙම දස්කම දැක්වීමට සමත් වූ අතර ඔහු ඉනිම් දෙකෙහිම කඩුලු 5 බැගින් දවා ගැනීම කැපී පෙනුණා.

Pat Cumminsගේ මෙම දස්කම නිසාවෙන් එංගලන්ත පළමු ඉනිම ලකුණු 147කට සීමා කිරීමට ඕස්ට්‍රේලියානුවන්ට හැකි වූ අතර ඉනිම අවසන් වීමෙන් පසු Cummins ප්‍රේක්ෂකයන්ගේ ජයඝෝශා මධ්‍යයේ ක්‍රීඩාගාරය වෙත යනු දැක ගැනීමට හැකි වුනා.

එමෙන්ම මෙම සුවිශේෂී දස්කම අගය කරමින් ඕස්ට්‍රේලියානු නව නායකයාට සුබ පැතුම් එක් කරමින් ඉන්දීය දඟපන්දු යවන ක්‍රීඩක Ravichandran Ashwin Twitter සටහනක් තබා තිබුණා.

Hindustan Times ඇසුරිනි

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<