“Bumrah නැති එක මට දැන් හුරුයි” – Rohit Sharma

IPL 2023

1808
Rohit Sharma insist that he was used to play without bumrah

ඊයේ (02) තමන්ට හිමි වූ තණතීරුව පිතිකරුවන්ට උචිත එකක් වූ නමුත්, තම කණ්ඩායම ඉන් උපරිම ප්‍රයෝජන ලබා නොගත් බවයි Mumbai Indians නායක Rohit Sharma විසින් පවසන්නේ.

මෙවර IPL තරගාවලියේ 5 වැනි තරගය ලෙස ඊයේ පැවැත්වුණු Mumbai Indians සහ Royal Challengers Bangalore කණ්ඩායම් අතර තරගයෙන් කඩුලු 8ක පහසු ජයග්‍රහණයක් හිමි කර ගැනීමට Bangalore කණ්ඩායම සමත් වූ අතර, එහි දී Mumbai පිතිකරුවන් විසින් ලබා ගත් දුර්වල ආරම්භය ඔවුන් ලද පරාජයට ප්‍රධානතම හේතුව ලෙස හඳුන්වා දිය හැකියි.

ඉනිමේ මුල් කඩුලු 4 ලකුණු 48ක් වන විට සහ ඉනිමේ 7 වැනි කඩුල්ල ලකුණු 123ක් වන විට Bangalore පන්දු යවන්නන් හට පූජා කළ Mumbai පිතිකරුවන්ගේ ජාමය බේරීමට සමත් වුනේ මැදපෙළ පිතිකරු Tilak Varma විසිනුයි.

“හොඳ ආරම්භයක් ලබා ගන්න නොහැකි වුනත්, අවසානයේ Tilak දැරූ උත්සාහය ඉතාම හොඳයි. නමුත් පන්දු යවන්නන් හොඳින් පන්දු යැවුවේ නැහැ.

ඒක හොඳ තණතීරුවක්, නමුත් අපි හොඳින් පිතිකරණයේ යෙදුණේ නැහැ. තවත් ලකුණු 30-40ක් තිබුණා නම් හොඳයි.”

තරගයෙන් අනතුරුව පැවැත්වුණු මාධ්‍ය හමුවේ දී Mumbai Indians නායක Rohit Sharma විසින් මේ බව ප්‍රකාශ කළා.

එමෙන්ම පිළිතුරු ඉනිමේ දී Kohli සහ Faf Du Plessis විසින් Mumbai පන්දු යවන්නන් ව තඹ සතයකට මායිම් නොකරමින් පන්දුවට පහර දුන් අතර එහි දී Mumbai Indians නිත්‍ය සාමාජිකයකු වූ Jasprit Bumrahගේ අහිමි වීම වඩාත් තදින් කැපී පෙනුණා.

නමුත් Bumrahගේ අහිමි වීම මෙම දුර්වල පන්දු යැවීමට හේතුවක් නොවන බවයි Rohit නම් පවසන්නේ.

“පසුගිය මාස 6-8ක කාලය තුලම මම Bumrah නැතුව ක්‍රීඩා කරන්න පුරුදු වෙලා හිටියේ. අපිට පාලනය කරන්න බැරි දේවල් පාලනය කරන්න බැහැම තමයි. අනිත් ක්‍රීඩකයිනුත් ගොඩක් දක්ෂයි. ඒත් ඒ ගොඩක් අය මීට පෙර IPL ක්‍රීඩා කරපු අය නෙවෙයි. මේ තරගාවලියේ පළමු තරගය. ඉදිරියේ බලා ඉන්න ගොඩක් දේවල් තියෙනවා.”

තරගය පරාජය වූ Mumbai නායකයා එසේ පවසද්දී, ජයග්‍රාහී අන්තයේ රැඳුණු Bangalore නායක Faf du Plessis විසින් සිය පන්දු යවන්නන් පිළිබඳ හොඳ පැහැදීමකින් අදහස් දැක්වුවා. එමෙන්ම Virat Kohli වැනි ක්‍රීඩකයකු සමග ඉනිම ආරම්භ කිරීමට හැකි වීම පිළිබඳවත් ඔහු ඉතාමත් සතුටු වන බව ඔහුගේ කතාබහේ දී පැහැදිලි වුනු කරුණක්.

මෙවර IPL තරගාවලියේ සියලු තරග සජීව ලෙස ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Times of India ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<