සන්රයිසස් ප්‍රේක්ෂකයින් ඉදිරියේම රාජස්ථානයට පහසු ජයක්!

115
Sunrisers Hyderabad v Rajasthan Royals
Credit : BCCI

මුල් පෙළ ක්‍රීඩකයින්ගේ අති සාර්ථක පිතිකරණයත්, Yuzvendra Chahal සහ Trent Boultගේ විශිෂ්ට පන්දු යැවීමත් නිසා Indian Premiere League තරගාවලියේ තම මුල්ම අභියෝගය පහසුවෙන් ජය ගැනීමට අද (02) රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට හැකිවුනා. ඒ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ලකුණු 72කින් පරාජය කරමින්.

අද තරගය ක්‍රියාත්මක වුනේ සන්රයිසස් බලකොටුව වන රජිව් ගාන්ධි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි. කාසියේ වාසිය ද ඔවුන්ටම හිමිවුනු අතර මුලින් පන්දු යැවීම තෝරා ගන්නට නායක බුවනේශ්වර් කුමාර් තීරණය කළා. නමුත් තම බහුතර ප්‍රේක්ෂක පිරිස ඉදිරියේම වුවත් රාජස්ථානයට තර්ජනයක් වන්නට නම් ඔවුන්ට හැකිවුනේ නැහැ.

අද ආරම්භක කඩුල්ලේ සබඳතාවය ලකුණු 85ක් දක්වා වර්ධනය වුනේ පවර්ප්ලේ පන්දුවාර නිමා වීමට එක් පන්දුවක් ඉතිරිව තිබියදීයි. එහිදී තවමත් 21 හැවිරිදි වියේ පසුවන Yashasvi Jaiswal වයසට වඩා මුහුකුරා ගිය ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 37කින් ලකුණු 54ක් ලබා ගත්තා. ඒ හතරේ පහර 9ක් එල්ල කරමින්.

අනෙක් අන්තයේ සිටි Jos Buttlerට අර්ධ ශතකය කරා යාමට අවශ්‍ය වුනේ පන්දු 20ක් පමණයි. දැවී යනවිට ඔහුත් හරියටම ලකුණු 54ක් ලබාගෙන සිටියේ හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් සමඟයි. රාජස්ථාන් කණ්ඩායමේ මුල් කඩුලු 2ම දවා ගැනීමට Fazalhaq Farooqi සමත් වුනත් ඒ වනවිට ප්‍රමාද වැඩි වී තිබුනා.

අංක 3 පිතිකරු Sanju Samson අද ලකුණු 55ක් රැස් කිරීමට වැය කළේ පන්දු 32ක් පමණයි. ඔහුව දවා ගැනීම වෙනුවෙන් Abhishek Sharma ඩීප් මිඩ්-විකට් හි සිට තම සමබරතාවය රැකගෙන සුපිරි උඩපන්දුවක් රැක ගත්තා. දැවී යනවිට Sanju Samson හතරේ පහර 3ක් සහ හයේ පහර 4ක් එල්ල කර තිබුනා.

මුල්පෙළ පිතිකරුවන් තිදෙනාම අර්ධ ශතක රැස් කිරීම නිසා රාජස්ථානයට අද විශාල ලකුණු පුවරුවක් ගොඩ නැගීම කිසිසේත්ම දුෂ්කර වුනේ නැහැ. අවසානයේ Shimron Hetmyer පන්දු 16කින් ලකුණු 22ක් ලබා ගැනීමත් සමඟ ඔවුන්ට ලකුණු 200ද පසුකර යාමට අවස්ථාව ලැබුනා. පන්දු යැවීමේ දී රාජස්ථාන් ප්‍රහාරයෙන් හැකිතාක් ගැලවුනු Natarajan කඩුලු 2ක් දවා ගත්තේ ලකුණු 23ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින්.

ලකුණු 204ක අභියෝගාත්මක ඉලක්කයක් කරා යාමට උත්සාහ කළ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ ලබා ගැනීමට හැකිවුනේ කඩුලු 8කට ලකුණු 131ක් පමණයි. ආරම්භක පන්දුවාරය ක්‍රියාත්මක කළ Trent Boult සන්රයිසස් ඉනිම මුලදීම දණින් වැට්ටුවේ කඩුලු 2ක නිලකුණු පන්දුවාරයක් ක්‍රියාත්මක කරමින්.

මෙම විශිෂ්ට පන්දුකරණය හමුවේ Abhishek Sharmaට සහ Raul Tripathiට කඩුලු අහිමි වුනා. එහිදී Tripathiගේ පිත්තේ වැදී ස්ලිප් කලාපයට විදුලි වේගයෙන් ඇදී ආ උඩපන්දුව Jason Holder විශිෂ්ට ලෙස රැක ගත්තා. ලැබුනු අවස්ථාවෙන් සන්රයිසස් කණ්ඩායම මත පීඩනය පැටවීම ඉතා හොඳින් සිදුකළ සංගාගේ මෙහෙයවීම මත ක්‍රියාත්මක වන රාජස්ථානය කිසිම මොහොතක තම ග්‍රහණය ලිහිල් කළේ නැහැ.

මහත් බලාපොරොත්තු ඇතිව මුරලි ඇතුළු සන්රයිසස් කළමනාකාරීත්වය මිලදී ගත් Harry Brook සහ Glenn Phillips පවා අද කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කළේ නැහැ. ආරම්භක පිතිකරු Mayank Agarwal ලකුණු 27ක් රැස් කරද්දී ඉන්දීය යොවුන් ක්‍රීඩක Abdul Samad නොදැවී ලබාගත් ලකුණු 32 සටහන් වුනේ සන්රයිසස් ඉනිමේ ඉහළම ලකුණ ලෙසයි.

මේ නිසා අද රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම තමන්ට ලැබුනු මුල්ම අභියෝගය සාර්ථකව ජය ගත්තේ ලකුණු 72ක පහසු ජයක් වාර්තා කරමින්. පන්දු යැවීමේ දී Yuzvendra Chahal කඩුලු 4ක් දවා ගත්තා. ඔහු අද විස්සයි විස්ස තරග වල කඩුලු 300 වාර්තා කිරීමත් විශේෂත්වයක්. තරගයේ වීරයා සම්මානය Jos Buttlerට හිමිවුනා.

රාජස්ථාන් රෝයල්ස් – කඩුලු 5ක් දැවී ලකුණු 203 (පන්දුවාර 20)

Sanju Samson 55, Jos Buttler 54,Yashasvi Jaiswal 54, Shimron Hetmyer 22*, T Natarajan 2/23, Fazalhaq Farooqi 2/41.

සන්රයිසස් හයිද්‍රාබාද් – කඩුලු 8ක් දැවී ලකුණු 131 (පන්දුවාර 20)

Abdul Samad 32*, Mayank Agarwal 27, Umran Malik 19*, Adil Rashid 18, Yuzvendra Chahal 4/17, Trent Boult 2/21.

IPL තරගාවලියේ පස්වැනි තරගය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමඟ අද රාත්‍රී 7.30 සිට චින්නස්වාමි පිටියේදී ක්‍රියාත්මක වනවා. එම තරගය ඇතුළු IPL තරගාවලියේ සියලු තරග ඔබට ThePapare.com වෙතින් නැරඹිය හැකියි. රැඳී සිටින්න අප සමඟම!

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<