Uthappa අතින් ලොකු අත්වැරැද්දක්

6117

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ පසුගිය දා පැවති කොල්කටා නයිට් රයිඩර්ස් හා රාජස්ථාන් රෝයල්ස් අතර තරගයේ දී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම නියෝජනය කරන Robin Uthappa පන්දුව ඔපදැමීම සඳහා ඛේටය භාවිතා කරන ආකාරය ජාත්‍යන්තර මාධ්‍ය විසින් වාර්තා කර තිබුණි.

කොල්කටා නයිට් රයිඩර්ස් ඉනිමේ දී පන්දු රැකීමේ නිරතව සිටින Robin Uthappa මෙලෙස ඛේටය භාවිතා කරමින් පන්දුව ඔපදැමීම යම් ආන්දෝලනාත්මක සිදුවීමක් බවට පත්ව තිබේ.

පසුගිය දෙසැම්බර් මාසයේ දී ආරම්භ වී ලොව පුරා වසංගතයක් ලෙස පැතිර ගිය COVID -19 වසංගතය සැලකිල්ලට ගනිමින් ක්‍රිකට් තරග අතරතුර දී පන්දු ඔපදැමීම සඳහා ඛේටය භාවිතා කිරීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් මේ වසරේ ජුනි මාසයේ දී තහනම් කරන ලදි. කෙසේ වෙතත් එම නීතිය පසුගිය බදාදා පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගය අතරතුර Robin Uthappa  විසින් උල්ලංඝනය කර තිබේ. මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය තුල එතරම් සාර්ථක වීමට Robin Uthappa සමත්ව නැත.

කොල්කටා නයිට් රයිඩර්ස් ඉනිමේ තෙවැනි ඕවරයේ පස්වැනි පන්දුවේ දී සිදු වූ මෙම සිදුවීම කැමරා කීපයක සටහන්ව තිබුණි. එහි දී උත්තප්පා හට ලැබුණු උඩ පන්දුවක් ගිලිහී යාමෙන් අනතුරුව ඔහු මෙලෙස ඛේටය යොදාගෙන පන්දුව ඔපදැමීමේ නිරත වන ආකාරය පැහැදිලිව සටහන්ව තිබේ. 

කොල්කටා කණ්ඩායමේ ආරම්භක පිතිකරු සුනිල් නරීන් ටොම් කරන්ගේ පන්දුවකට එල්ල කළ පහරක් mid on කලාපයේ සිටි Robin Uthappa වෙත ඇදී ගියේය. පහසු උඩපන්දුවක් වූ එය ලබා ගැනීමට Robin Uthappa සමත්වූයේ නැත. ඉන් අනතුරුව ගිලිහුණු පන්දුව අතට ගත් උත්තප්පා පන්දුව ඔපදමන ආකාරය දක්නට හැකි විය. 

“සෞඛ්‍ය නීතිවලට අනුව පන්දුව ඔපදැමීම සඳහා ඛේටය භාවිතා කිරීමට කිසිදු ක්‍රීඩකයෙකුට අවසර නොලැබේ. කෙසේ වෙතත් යම් ක්‍රීඩකයෙකු පන්දුවට ඛේටය යොදමින් ඔපදැමීම සිදු කළහොත් විනිසුරුවන් විසින් යම්කිසි ලිහිල් අවවාද කිරීමක් සිදු කරමින් තත්ත්වය පාලනය කරනු ඇත. නමුත් එලෙස කීපවතාවක් සිදුවුවහොත් කණ්ඩායමට අනතුරු ඇඟවීමක් ලැබෙනු ඇත” ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ආරම්භ වීමට පෙර නිකුත් කළ නිවේදනයක දැක්වේ.

මෙවන් සිදුවීමක දී කණ්ඩායමකට එක් ඉනිමක දී අනතුරු ඇඟවීම් දෙකක් දක්වා නිකුත් කළ හැකි අතර නැවත නැවත පන්දුව මත ඛේටය භාවිතා කළහොත් පන්දුවට පහර දෙන කණ්ඩායම සඳහා ලකුණු 5ක දඬුවම් ලකුණු ප්‍රමාණයක් ලැබෙනු ඇත. යම් ක්‍රීඩකයෙකු විසින් පන්දුවට ඛේටය යොදමින් ඔප දැමීමක් කරන සෑම අවස්ථාවක දී ම නැවත තරගය ආරම්භ කිරීමට පෙර පන්දුව පිරිසිදු කරන ලෙස විනිසුරුවන්ට උපදෙස් ලබා දී තිබේ.

තවත් ක්‍රිකට් පුවත්:

කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් Robin Uthappaට හෝ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට යම්කිසි අනතුරු ඇඟවීමක් කර තිබේ දැයි මෙතෙක් වාර්තා වී නොමැත.

Robin Uthappa හට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය එතරම් සාර්ථක තරගාවලියක් නොවූ අතර තරග තුනක දී ඔහු ලබාගෙන ඇත්තේ ලකුණු 16ක් පමණි. ඒ ලකුණු 5, 9 හා 2 ලෙසිනි.

මෙම සිදුවීමට පෙර Robin Uthappa අතින් ගිලිහී ගියේ සුනිල් නරීන් ලබා දුන් උඩපන්දුවකි. ඒ වන විය ඔහු ලකුණු ලබා සිටියේ නැත. කෙසේ වෙතත් එම උඩපන්දුව ගිලිහී යාම රාජස්ථාන් කණ්ඩායමට එතරම් බලපෑමක් වූයේ නැත. කෙසේ වෙතත් එම ගිලිහී යාම රාජස්ථාන් කණ්ඩායම තුල Robin Uthappaගේ ස්ථානය මතභේදාත්මක තත්ත්වයට පත්කර තිබේ.

රාජස්ථාන් රෝයල්ස් හා කොල්කටා නයිට් රයිඩර්ස් අතර පැවති තරගයේ ජයග්‍රහණය හිමි වූයේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමටයි. එම පරාජයත් සමඟින් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ලකුණු සටහනේ තුන්වැනි ස්ථානයට පත්විය. එම සටහනේ පෙරමුණ ගෙන සිටින්නේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමයි.

Hindustan Times ඇසුරිනි.

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<