ක්‍රිකට් උපන්බිමට මෙවරවත් අවසන් පිම්ම පැනගත හැකි වේද?

228
Getty Images

විවියන් රිචර්ඩ්ස් සහ කොලිස් කිං එංගලන්ත ලෝක කුසලාන සිහින බොඳ කරයි.

වීරයින් බිහිවන්නේ අප නොසිතන නොපත්නා තැන්වලිනි. 1979 ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ දී එවන් වීරයෙකු බිහි විය.

1979 ලෝක කුසලාන අවසන් මහා තරගයේ කොදෙව් නායක ක්ලයිව් ලොයිඩ්, ක්‍රිස් ඕල්ඩ්ගේ පන්දුවකට ඔහු අතටම උඩපන්දුවක් ලබා දී දැවී යන විට බටහිර ඉන්දීය කොදෙව් ඉනිම කියවුණේ ලකුණු 99කට කඩුලු හතරක් ලෙසිනි. 

බරත් නෑ, වැඩත් නෑ

1992 බෙන්සන් සහ හෙජස් ලෝක කුසලානයේ පාකිස්තානු කණ්ඩායමේ ….

බාර්බඩෝස්’හිදී උපත ලද කොලිස් කිං නම් යෞවනයා එදා සත්කාරක එංගලන්ත කණ්ඩායමේ ලෝක කුසලාන සිහින පොළොවට සමතලා කරමින් පන්දු 66ක් තුල වේගවත් ලකුණු 86ක් රැස් කරන්නේය. ඔහු පිටියට පිවිසෙන විට අනෙක් අන්තයේ රැඳී සිටියේ ප්‍රහාරයට රිසි විවියන් රිචර්ඩ්ස් නම් අප කවුරුත් දන්නා පිතිකරුවාය. 

නමුත්‍ තරගය දෝලනය වන ආකාරය හොඳින්ම දැන සිටි රිචර්ඩ්ස් තමන්ගේ සැර බාල කොට සහායක පිතිකරුවාට වැඩි වැඩියෙන් එංගලන්ත පිතිකරුවන්ට පහර දෙන්නට ඉඩ හසර ලබා දුන්නේය.

Getty Images

1979 වසරේ ජුනි 23 වැනිදා ලන්ඩන් නුවර ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ දී කාසියේ වාසිය දිනූ එංගලන්ත නායක මයික් බෙයාර්ලි මුලින්ම පන්දුවට පහර දීමේ වාරය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට බාර කළේය. නමුත් කොදෙව් කණ්ඩායමේ මුල්පෙළ පිතිකරුවන්ට සාර්ථක වන්නට එංගලන්ත පන්දු යවන්නන් ඉඩකඩ ලබා දුන්නේ නැත. පස්වැනි කඩුල්ල ලෙස කොලිස් කිං පිටියට පැමිණෙන විට එංගලන්ත පන්දු යවන්නන් ඔවුන්ගේ ග්‍රහණය උපරිමයෙන්ම තරකොට තිබුණි. 

 

කොලිස් කිං එක් අන්තයකින් වේගයෙන් පන්දුවට පහර දෙද්දී අනෙක් අන්තයේ සිටි විවියන් රිචර්ඩ්ස් ඉතා ඉවසිලිමත්ව පන්දුවට පහර දී ශතකයක් රැස්කර ගත්තේය. ඔහු එදා පන්දු 157ක් තුළ ලකුණු 138ක් වාර්තා කරගත්තේය.  ඔවුන් දෙදෙනා අතර පස්වැනි කඩුල්ලට ඇතිවූ සම්බන්ධතාවය ලකුණු 139කි.

කොදෙව් ඉනිමේ අවසාන පන්දුවට රිචර්ඩ්ස් එල්ල කළ හයේ පහර ලෝක කුසලාන ඉතිහාසයේ සදාතනික මතකයකි. මයික් හෙන්ඩ්‍රික්ස් යැවූ එම පන්දුව අතින් ගිලිහෙන්නට පෙර රිචර්ඩ්ස් පිට ඉන්න පැත්තට ගොස් පහරට සූදානම් විය. පිට ඉන්න කෙළින් වැටුණ එම පන්දුවට රිචර්ඩ්ස් එල්ල කළ ෆ්ලික් පහර නැවතුණේ නරඹන්නන් අතරේය. අද ක්‍රිකට් ලෝකයේ පිටිය පුරා එල්ල කෙරෙන විවිධාකාරයේ පහරවල් ඉතාම සුලබ වුවද මීට අවුරුදු හතළිහකට පෙර විවියන් රිචර්ඩ්ස් එල්ල කළ ඇතැම් පහරවල් දෙස ලෝකයා බලා සිටියේ විශ්මයට පත්වය. හෙන්ඩ්‍රිකස්ගේ අවසාන පන්දුවට රිචර්ඩ්ස් එල්ල කළ පහර ද එවැන්නකි.

රිචර්ඩ්ස්ගේ සහ කොලිස් කිංගේ පිති ප්‍රහාරය නිසාවෙන් කොදෙව් ඉනිම අවසානයේ කියවුණේ කඩුලු නමයක් දැවී ලකුණු 286ක් ලෙසිනි.

උපන්බිමේ ලෝක කුසලාන සිහින බොඳ කළ ප්‍රහාරකයා

1992 ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ සම සත්කාරකත්වයෙන් පැවති බෙන්….

කොදෙව්වන් ලබා දුන් ඉලක්කය හඹායෑමට පැමිණි එංගලන්ත ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ ජෙෆ් බෝයිකොට් සහ මයිල් බෙයාර්ලි ආරම්භක කඩුල්ලට ලකුණු 129ක් රැස් කිරීමට සමත් විය. නමුත් ඔවුන් දෙදෙනා ක්‍රීඩා කළ මන්දගාමී ස්වරූපය නිසා අනෙක් පිතිකරුවන්ට ලැබුණේ දැඩි පීඩනයකි. ඒ පීඩනය නිසාම සියලු ක්‍රීඩකයින් දැවී එංගලන්තයට ලබාගත හැකි වූයේ ලකුණු 194ක් පමණි.

එලෙස ක්‍රිකට් ක්‍රීඩාව හඳුන්වා දුන් දේශයට ලෝක කුසලානය මුල්ම වරට පෙනි පෙනී ගිලිහී ගියේය.

ලෝක කුසලානය ඕස්ට්‍රේලියානුවන්ට පූජා කළ රිවර්ස් ස්වීප් පහර

1987 ලෝක කුසලාන අවසන් මහා තරඟය පැවැත්වුණේ එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර ඉන්දියාවේ කල්කටා නුවර ඊඩන් ගාඩ්න්ස් පිටියේ දී ය. තරගයේ කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියානු නායක ඇලන් බෝඩර් මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කළේය.

ඕස්ට්‍රේලියානු ඉනිම වෙනුවෙන් ඩේවිඩ් බූන් අගනා අර්ධ ශතකයක් (75) රැස්කර ගත්තේය. ඕස්ට්‍රේලියානු ඉනිමේ අවසන් පන්දුවාර කිහිපයේ වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ මයිකල් වැලේටා හතරේ පහර හයක් සමඟ පන්දු තිස් එකක් තුළ ලකුණු 45ක් රැස් කළේය. ඕස්ට්‍රේලියානුවන් අවසන් පන්දුවාර හය තුළ එංගලන්ත පන්දු යවන්නන්ගෙන් ලකුණු 65ක් උදුරාගන්නට සමත් වී තිබුණි. 

ඕස්ට්‍රේලියානුවන් සිය පන්දුවාර පනහ නිමාවේ දී කඩුලු පහක් දැවී ලකුණු 253ක් ලබා ගන්නට සමත් විය.

ඕස්ට්‍රේලියානු ඉලක්කය හඹායෑමට පැමිණි එංගලන්ත ආරම්භක පිතිකරු ටිම් රොබින්සන් ලකුණු නොලබාම දැවී ගියේය. නමුත් ග්‍රැහැම් ගූච් සහ බිල් ඇතේ නැවත එංගලන්ත ඉනිම ගොඩනැගීමට සමත් විය. වරෙක කඩුලු දෙකක් දැවී ලකුණු 135ක් ලෙස පෙන්නුම් කළ එංගලන්ත ඉනිමේ කඩා  වැටීම ආරම්භ වූයේ නොසිතූ ආකාරයකින්. 

තරගයේ තිස් දෙවන පන්දුවාරය ආරම්භ වන විට එංගලන්ත ජයග්‍රහණයට අවශ්‍ය වූයේ ලකුණු 119ක් පමණි. ඕස්ට්‍රේලියානු නායක ඇලන් බෝඩර් හිටිහැටියේම පන්දුව අතට ගන්නට තීරණය කළේය. බෝඩර් යැවූ  පළමු පන්දුවටම ඒ වන විටත් හොඳින්ම පන්දුවට පහර දෙමින් සිටි එංගලන්ත නායක මයික් ගැටින් රිවර්ස් ස්වීප් පහරක් එල්ල කළේය. පිත්තේ දාරයේ වැදුණ පන්දුව කඩුලු රකින ග්‍රේග් ඩයර් විසින් උඩපන්දුවක් ලෙස සුරැකිව රැකගන්නා ලදි. තරඟය ඕස්ට්‍රේලියානුවන්ගේ පැත්තට බර කළ හැරවුම් ලක්ෂ්‍යය එය විය. ඇලන් ලෑම්බ් වේගවත් ලකුණු 45 රැස් කළ ද ලකුණු හතකින් පරාජය ලබන්නට එදා එංගලන්ත කණ්ඩායමට සිදු විය.

ලෝක කුසලානය කණපිට පෙරළු වසීම්ගේ පන්දු දෙක

නැවත වතාවක් එංගලන්ත කණ්ඩායම ලෝක කුසලාන අවසන් මහා තරගයකට සුදුසුකම් ලබන්නේ 1992 ලෝක කුසලානයේ දී ය. 

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තානු නායක ඉම්රාන් ඛාන් මුලින්ම පන්දුවට පහර දීමේ වාරය තමන් සතු කරගත්තේය. නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ ඉම්රාන් අගනා ලකුණු 72ක් පාකිස්තානු ඉනිමට එක් කළේය. 

අපි නොදන්න කුලේ

“මම ඇත්තටම බෝලේ දැක්කේ නෑ. කුමාර් අයියා වැටෙනවා දැක්කාම මම….

පාකිස්තානය වෙනුවෙන් ජාවේඩ් මියැන්ඩාඩ් තවත් අර්ධ ශතකයක් වාර්තා කර ගත් අතර පාකිස්තානු ඉනිමේ අවසන් පන්දුවාර කිහිපයේ ඉන්සමාම් උල්හක්ගේ සහ වසීම් අක්‍රම්ගේ දැඩි ප්‍රහාරයකට ලක්වන්නට එංගලන්ත පන්දු යවන්නන්ට සිදු විය. පාකිස්තානය සිය පන්දුවාර පනහ අවසානයේ කඩුලු හයකට ලකුණු 249ක් රැස් කරගන්නට සමත් විය.

පාකිස්තානු ඉලක්කය හඹායෑමට පැමිණි එංගලන්ත කණ්ඩායමේ කඩුලු නිරන්තරෙන් බිඳ වැටුනත් පස්වැනි කඩුල්ලට අගනා සම්බන්ධතාවක් ගොඩ නගන්නට ඇලන් ලෑම්බ් සහ නීල් ෆෙයාබ්‍රදර් සමත් විය. නමුත් මෙම තරඟයේ තිස් පස්වැනි පන්දුවාරය යැවූ වසීම් අක්‍රම් තරගය සම්පූර්ණයෙන්ම උඩුයටිකුරු කළේය.

ඔහු ඇලන් ලෑම්බ් සහ ක්‍රිස් ලුවිස් දෙදෙනා පිට පිට පන්දු දෙකකින් ක්‍රීඩාගාරයට හරවා යැවූ අතර ලෝක කුසලාන ඉතිහාසයේ අමරණීය සිදුවීමක් ලෙස වසීම්ගේ පන්දු දෙක ගැන අදටත් කියවේ.

Getty Images

“1992 ලෝක කුසලානයේ ඒ පන්දු දෙක මගේ ක්‍රීඩා දිවියේ උච්චතම අවස්ථාව කියන්න පුළුවන්. නායක ඉම්රාන් ඛාන් මට  පන්දුව අතට දෙමින් කිව්වේ ප්‍රතිදෝලනයක් පේන්න තියෙනවා හැකි නම් එයින් ප්‍රයෝජනයක් ගන්න කියා. මා ඔහුට කිව්වා මම කඩුල්ල වටා පැමිණ පන්දුයවන්න තීරණය කළ බව. මා එදා පන්දුව එල්ල කළ කෝණයෙන් පන්දුවක් පිටතට දෝලනය කළ හැකිවන්නේ බොහෝම කලාතුරකින් බව විචාරකයින් පසුව පැවසුවා. පිට පිටම දෙවරක් එය කරන්නට ලැබීම සැබවින්ම විශ්මජනකයි.” වසීම් පසුව ප්‍රකාශ ‍කළේය.

වසීම්ගේ තුන් ඉරියව් දක්ෂතා නිසාම එංගලන්තය ලකුණු 22කින් පරාජය කොට බෙන්සන් සහ හෙජස් ලෝක කුසලානය දිනා ගන්නට පාකිස්තානයට වාසනාව ලැබුණි. 

එලෙස තෙවරක් ලෝක කුසලානය අභියසටම පැමිණි එංගලන්තයට ලෝක කුසලානය දිනා ගැනීමට වරම් ලැබුණේ නැත. නැවත වතාවක් අවුරුදු විසි හතකට පසු ඔවුන් ලෝක කුසලාන අවසන් මහා තරඟයකට පැමිණ සිටින අතර මෙවරත් ඔවුන්ට වාසනාව හරස් වේ දැයි ක්‍රිකට් ලෝකයම බලා සිටිති.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<