Ritzbury නොකඩවා දොළොස් වැනි වරටත් ජෝන් ටාබට් මලල ක්‍රීඩා ශූරතාවලිය සමඟ අත්වැල් බැඳ ගනී

Sir Jhon Tarbat Athletics Championship 2024

99
Ritzbury partners for the 12th consecutive year

ශ්‍රීමත් ජෝන් ටාබට් මලල ක්‍රීඩා ශූරතාවලියට නොකඩවා දොළොස් වැනි වරටත් සිය අනුග්‍රාහකත්වය ලබා දීමට Ritzbury ආයතනය ඉදිරිපත් වී තිබෙනවා. 

ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය සමඟ එක්ව මෙවරත් ජෝන් ටාබට් මලල ක්‍රීඩා ශූරතාවලියට අනුග්‍රාහකත්වය ලබා දීමට Ritzbury ආයතනය සූදානම් බව ඊයේ (10) දිනයේ නිල වශයෙන් ප්‍රකාශ කෙරුණු අතර, ඒ අනුව 53 වැනි ජෝන් ටාබට් කනිෂ්ඨ ශූරතාවලිය එළඹෙන 13 වැනි දා සිට ආරම්භ වීමට නියමිතයි. 

මෙවර කනිෂ්ඨ තරගාවලිය සඳහා යාපනය සහ මඩකලපුව යන ප්‍රදේශ ආවරණය කරමින් නව තරගාවලි ද්විත්වයක් ද පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, පාසල් දහස ඉක්මවමින් 20,000කට අධික තරගකරුවන් පිරිසකගේ සහභාගීත්වයෙන් යුතුව මෙවර තරගාවලිය ක්‍රියාත්මක වනු ඇති. 

ජුනි 13 වැනි දා ආරම්භ වීමට නියමිත කනිෂ්ඨ තරගාවලියේ වයස අවුරුදු 11න් පහළ, 12න් පහළ, 13න් පහළ, 14න් පහළ සහ 15න් පහළ කනිෂ්ඨ තරග සෑම දිස්ත්‍රික්කයක් ම ආවරණය වන පරිදි පැවැත්වෙනු ඇති. 

ඒ අනුව උතුරු පළාතේ සහ අනුරාධපුර දිස්ත්‍රික් තරග ජුනි 13 – 14 (යාපනය දොරෙයප්පා ක්‍රීඩාංගණයේ දී), මධ්‍යම, වයඹ පලාත් සහ ගම්පහ දිස්ත්‍රික් තරග ජුලි 12 – 14 (වෙන්නප්පුව මහජන ක්‍රීඩාංගණයේ දී), කළුතර සහ කොළඹ දිස්ත්‍රික් තරග ජුලි 26 – 28 දක්වා (බණ්ඩාරගම මහජන ක්‍රීඩාංගණයේ දී), නැගෙනහිර පලාත් සහ පොලොන්නරුව දිස්ත්‍රික් තරග අගෝස්තු 3-4 (මඩකලපුව Weber ක්‍රීඩාංගණයේ දී) සහ දකුණු, ඌව සහ සබරගමු පලාත් තරග 10-12 (ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ දී) පැවැත්වීමට නියමිතයි. 

මේ අතර 92 වැනි ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය එළඹෙන සැප්තැම්බර් මස 10 සිට 13 දක්වා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අතර, මේ සඳහා වයස අවුරුදු 16න් පහළ, 18න් පහළ සහ 20න් පහළ ක්‍රීඩක/ක්‍රීඩිකාවන් සම්බන්ධ වීමට නියමිතයි. 

තරග ජයග්‍රාහකයින්ට සම්මාන සහ ශිෂ්‍යත්ව පිරිනැමීමට Ritzbury ආයතනය විසින් සූදානමින් පසු වන අතර, මීට අමතරව Ritzbury සහය දිවීමේ ශූරතාවය (Ritzbury Relay Carnival) බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේ දී එළඹෙන ජුලි මස 02-04 වැනි දා දක්වා පැවැත්වීමට ද සැලසුම් කර තිබෙනවා. 

දිනෙන් දින උණුසුම් වන දේශීය මලල ක්‍රීඩාවේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<