වලල බාලිකාවෝ දශක දෙකක ආධිපත්‍ය රැක ගද්දී බාලක කිරුළු ලයිසියම්ට

Ritzbury ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවය 2023

648

දින හතරක් පුරාවට කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවති “91 වැනි ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවය” අද (16) අවසන් වුනා.

තරගාවලි වාර්තා දහයක් සහ ජාතික කනිෂ්ඨ වාර්තාවක් බිඳ වැටුණු මෙවර තරගාවලියේ අවසන් දිනය වූ අද ද නව තරගාවලි වාර්තා තුනක් පිහිටුවීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වුනා.

දිනයේ පළමු වාර්තාව පිහිටුවමින් වයස අවුරුදු 20න් පහළ බාලක හෙල්ල විසි කිරීමේ ඉසව්වේ මීටර් 64.92ක දස්කමක් දැක්වීමට හලාවත සාන්ත මේරි විද්‍යාලයේ ඩී. ප්‍රනාන්දු සමත් වූ අතර 16න් පහළ බාලක මීටර් 4X400 තරගය මිනිත්තු 3:28.68ක කාලයකින් අවසන් කළ කුරුණෑගල සාන්ත ජෝන් විද්‍යාල කණ්ඩායම එහි තරගාවලි වාර්තාව බිඳ දමන්නට සමත් වුනා.

බාලිකා මීටර් 4X400 තරගයේ ප්‍රබල ලෙස අවසන් කළ තරුෂි කරුණාරත්න ප්‍රමුඛ වලල ඒ රත්නායක විද්‍යාලයීය කණ්ඩායම තරගය මිනිත්තු 3:50.88ක කාලයකින් අවසන් කරමින් වාර්තාවක් සමඟින් ප්‍රථම ස්ථානය ජයග්‍රහණය කළා.

තරගාවලියේ වේගවත්ම ක්‍රීඩක ක්‍රීඩිකාවන් අභිෂේක ලබන බාලක බාලිකා මීටර් 100 අවසන් තරග අද සවස පැවති අතර එහි බාලක 16න් පහළ ඉසව්ව එස්. නදීශාන ජයග්‍රහණය කරද්දී, බාලිකා ඉසව්ව ජයග්‍රහණය කළේ වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ඩී. ප්‍රනාන්දු විසිනුයි.

තත්පර 12.95ක කාලයකින් බාලිකා 18න් පහළ මීටර් 100 ඉසව්ව අවසන් කළ කොළඹ මියුසියස් විද්‍යාලයේ එස්. ගුණරත්න එහි රන් පදක්කම දිනා ගත් අතර 18න් පහළ බාලක ශූරතාවය දිනා ගත්තේ තත්පර 11.36ක කාලයකින් තරගය අවසන් කළ ආනන්ද විද්‍යාලයේ එච්. හංසන විසිනුයි.

20න් පහළ මීටර් 100 ඉසව්වේ බාලිකා තරගය ජයග්‍රහණය කිරීමට කොළඹ ගේට්වේ විද්‍යාලයේ දිනාරා බණ්ඩාර සමත් වූ අතර එහි බාලක ඉසව්වේ ජය තියුණු සටනකින් පසු හිමි වුනේ පන්නල මධ්‍ය මහා විද්‍යාලයේ ටී. කුමාර හටයි.

තරගාවලිය අවසන් කරමින් පැවති 4×400 ඉසව්වේ 16න් පහළ බාලිකා ඉසව්ව මිනිත්තු 4:02.52ක කාලයකින් අවසන් කරමින් අඹගමුව මධ්‍ය මහා විද්‍යාලය විසින් ජයග්‍රහණය කරද්දී, බාලක ඉසව්ව මිනිත්තු 3:28.68ක කාලයකින් අවසන් කළ කුරුණෑගල ජෝන් කොතලාවල විද්‍යාලයේ ක්‍රීඩකයින් විසින් ජයග්‍රහණය කළා.

මිනිත්තු 4:00.29ක කාලයකින් 18න් පහළ බාලිකා මීටර් 4×400 ඉසව්ව අවසන් කළ මාතර රාහුල විද්‍යාලයීය කණ්ඩායම විසින් එහි ජයග්‍රහණය ලබා ගැනීමට සමත් වූ අතර බාලක ඉසව්ව මිනිත්තු 3:2496ක කාලයකින් අවසන් කරමින් කොළඹ සාන්ත බෙනඩික්ට් ක්‍රීඩකයින් විසින් ජයග්‍රහණය කළා.

20න් පහළ බාලක ඉසව්වේ ද ආධිපත්‍ය පැතිරවීමට සාන්ත බෙනඩික්ට් ක්‍රීඩකයින් සමත් වූ අතර ඔවුන් එම තරගය ජයග්‍රහණය කළේ මිනිත්තු 3:20.04ක කාලයකින් තරගය අවසන් කරමිනුයි.

>>තරගාවලියේ සමස්ත තරග ප්‍රතිඵල<<

මෙවර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ආසියානු පදක්කම් ලාභී තරුෂි කරුණාරත්න අභිෂේක ලැබූ අතර දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගත්තේ කහවත්ත මධ්‍ය මහා විද්‍යාලය නියෝජනය කරන මලිත් යසිරු විසිනුයි.

තරගාවලියේ සමස්ත ලකුණු 190ක් ලබා ගත් වලල ඒ රත්නායක ක්‍රීඩිකාවන් නොකඩවා 22 වැනි වරටත් බාලිකා සමස්ත ශූරතාවය දිනා ගැනීමට සමත් වූ අතර ලකුණු 136ක් ලබා ගත් වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල් ක්‍රීඩකයින් සමස්ත බාලක ශූරතාවය ජයග්‍රහණය කළා.

>> තරගාවලියේ කුසලාන බෙදී ගිය ආකාරය << 

 දිනෙන් දින උණුසුම් වන මලල ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<