Playoffs හඳුන්වාදීම සම්බන්ධයෙන් CK නායකයා හඬ අවදි කරයි

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය - Coverage powered by My Cola

5283

මූලික වටයේ තමන් සහභාගී වූ තරග අටෙන් හයක් ජයග්‍රාහී සටහනකින් නිමාවට පත්කළ Colombo Kings කණ්ඩායමේ විජයග්‍රාහී ගමන් මඟට නැවතීමේ තිත තැබූ භානුක රාජපක්ෂ ප්‍රමුඛ Galle Gladiators ක්‍රීඩකයින් අවසන් පූර්ව තරගයේ දී පෙරළිකාර ජයග්‍රහණයක් වාර්තා කළේ තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම බවට පත්වීමේ ගෞරවය හිමි කරගනිමිනි.

පළමු වටයේ ආරම්භක තරගයන්හී අපේක්ෂා කළ පරිදි සාර්ථක ප්‍රතිඵල අත්පත් කරගැනීමට නොහැකි වූ නමුත් ක්‍රමානුකූලව සිය ආධිපත්‍යය පතුරවාලීමට Galle Gladiators සමත් වූයේ තරග වාරය ආරම්භයේ දී දක්ෂතා අතර සිටි කණ්ඩායම් කිහිපයකටම කරට කර සටනක් ලබා දෙමිනි. 

කෙසේ නමුත් අනෙක් කණ්ඩායම්වලට සාපේක්ෂව තම හැකියා දක්ෂතා උපරිම තලයක රඳවා ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පළමුවැන්නා ලෙස පිළිමළුන් පිටුදැකීමේ වටයට අවතීර්ණ වූ Colombo Kings හට ඉතාමත් අවාසනාවන්ත අයුරින් තරගාවලියෙන් ඉවත් වීමට සිදු වූයේ තරගාවලි ආකෘති සැලැස්මෙහි තිබූ යම් අඩුපාඩුවක් නිසාවෙන් දැයි මේ වන විට කතිකාවතක් නිර්මාණය වෙමින් පවති.

ඉන්දීය ප්‍රිමියර් (IPL) තරගාවලිය මෙන් පිළිමළුන් පිටුදැකීමේ වටය Playoffs ක්‍රමවේදය අනුව පැවැත්වීමේ වැදගත්කම හුවා දක්වමින් Colombo Kings කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පෙන්වාදී සිටියේ ඉදිරි තරග වාරයන් හීදී සාම්ප්‍රදායික Knockout ක්‍රමයෙන් බැහැරව Play Offs සිද්ධාන්තය අනුගමනය කරමින් පැවැත්වීමට හැකි නම් තරගාවලියේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට එය විශාල පිටිවහලක් වනු ඇති බවයි. 

තවත් ක්‍රිකට් පුවත්:

“අවසන් පූර්ව වටය වෙනකල් ඉතාමත් හොඳින් කණ්ඩායමක් විදියට අපි තරග           කළා. ඒ විතරක් නෙමෙයි තරග ජයග්‍රහණය කළා. අවාසනාවට කාරණය තමයි ඒ තරම් හොඳින් ක්‍රීඩා කරලත් එදා දවසේ දී අපේ අතින් සිද්ධ වුන අඩුපාඩුත් එක්ක තරගාවලියෙන් ඉවත් වෙන්න වුන එක.”

“ප්‍රසාද ලකුණු සටහනේ පළමුවැනි ස්ථානය හිමිකරගන්න කණ්ඩායමට තවත් අවස්ථාවක් ලබා දෙනවා නම් IPL තරගාවලියේ දී වගේ ඉතාමත් වටිනවා කියලයි මම හිතන්නේ. මේ ක්‍රමයේ තියෙන අවාසිය තමයි තරග දෙකක් තුනක් ජයග්‍රහණය කරලත් ඕනම කණ්ඩායමකට ඇතුළට එන්න පුළුවන්. එකෙන් වෙන්නේ තරගකාරීත්වය වගේම කණ්ඩායම්වලට සාර්ථක වෙන්න තියෙන උනන්දුව අඩු වෙන එක විතරයි. තරග සංවිධායකවරුන් ලබන අවුරුද්දේ මේ පිළිබඳ  වැඩි අවධානයක් යොමු කරයි කියලා අපේක්ෂා කරනවා.”

අවසන් පූර්ව තරගයට පෙරාතුවද මැතිව්ස් සහ Dambulla Viiking නායක දසුන් ශානක මෙම කාරණාව සම්බන්ධයෙන් සිය මතයන් පළකොට සිටි අතර තරගාවලියෙන් ලද අත්දැකීම් සහ ධනාත්මක ප්‍රතිඵල සම්බන්ධයෙන් ද විශේෂ ප්‍රකාශයන් කිහිපයක් සිදු කරමින් මැතිව්ස් පවසා සිටියේ මෙතෙක් කලක් තම හැකියා දක්ෂතාවන් ජාත්‍යන්තරය ඉදිරියට ගෙන යාමට අවස්ථාව නොලද ක්‍රීඩකයින් රැසකටම මෙම තරගාවලිය දැවැන්ත වේදිකාවක් බවට පත්වූ බවයි.

“දක්ෂතාවන්ගෙන් පිරිපුන් දේශීය ක්‍රීඩකයින් කිහිපදෙනෙකුම කරළියට රැගෙන එන්න මෙවර LPL තරගාවලිය ඉවහල් වුනා. Shoaib Malik, Andre Russell වැනි පළපුරුදු ක්‍රීඩකයින් එක්ක අත්දැකීම් බෙදාහදා ගන්න ලැබීම අපේ යොවුන් ක්‍රීඩකයින්ට ලැබුණු ඉතාමත් හොඳ අවස්ථාවක් විදියටයි මම දකින්නේ.”

“මම එහෙම කියන්නේ මොකද ගොඩක් තරුණ ක්‍රීඩකයින් පෞද්ගලිකව මාත් එක්ක ඔවුන්ට ලැබුණු ඒ අවස්ථාවන් ගැන විශේෂයෙන් සාකච්ඡා කළා. Russell වගේ ප්‍රහාරාත්මක පිතිකරුවෙක්ට පන්දු යවන්න ඕන කොහොමද වගේම පන්දුවට පහරදෙන්න ඕන විදිය ගැන පුහුණුවීම් අතරතුරදී Russellගෙන්ම ඔවුන්ට ගොඩක් උපදෙස් ලැබුණා.”

“තවත් මතක් කළ යුතුම කාරණයක් තමයි Russell, Laurie Evans, Qais Ahmad සහ Daniel Bell-Drummond විදෙස් ක්‍රීඩකයින් විදියට ඉතාමත් විශිෂ්ට සේවාවක් කණ්ඩායම වෙනුවෙන් සිදු කළා. ශ්‍රී ලාංකිකයන්ගේ ආගන්තුක සත්කාර පිළිබඳව ඔවුන් නිතරම පැහැදීමෙන් යුතුව අපිත් කථා කළා.”

Cricinfo ඇසුරෙන්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<