SSC උණුසුම් කරන සාන්තුවරුන්ගේ සටනට සියල්ල සූදානම්

1588

බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය හා මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය අතර 87 වැනි වරටත් පැවැත්වීමට නියමිත සාන්තුවරුන්ගේ මහා ක්‍රිකට් සංග්‍රාමය එළඹෙන දෙසැම්බර් 13, 14 දිනවල  කොළඹ S.S.C ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

මෙවර සාන්තුවරුන්ගේ සටනට කණ්ඩායම් දෙකම හොඳ සූදානමකින් සිටින අතර අවසන් වරට සාන්තුවරුන්ගේ මහා ක්‍රිකට් තරගයක් ජය ගත් කණ්ඩායම වන්නේ සාන්ත පීතර කණ්ඩායමයි. ඒ 2016 වසරේ දී විනූ මොහොට්ටිගේ නායකත්වය යටතේයි.

අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කාණ්ඩයේ ශූරයින් වන මරදාන සාන්ත ජෝසප් කණ්ඩායම මෙහෙයවන්නේ ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ නායකත්වය ද දරන දුනිත් වෙල්ලාලගේ. ඔහුගේ නායකත්වය යටතේ ජාතික 19න් පහළ කණ්ඩායම ලෝක ශූර බංග්ලාදේශ හා එංගලන්තය ද පරාජය කරන්නට සමත් වීම විශේෂත්වයක්.

මේ වසරේ පාසල් ක්‍රිකට් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා ද වන දුනිත් මෙවර පන්දුවෙන් මෙන්ම පිත්තෙන් ද සාන්ත පීතර කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් වනු නොඅනුමානයි.

වමත් පිතිකරු ශෙරාන් ෆොන්සේකා සාන්ත ජෝසප් කණ්ඩායමේ තවත් ප්‍රබල තුරුම්පුවක්. ගෙවුණු වසරේ කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා ද වන ඔහු පසුගිය වසර දෙකේ දී ම දිවයිනේ වැඩිම ලකුණු ලබා ගත් ක්‍රීඩකයින් අතරත් රැඳී සිටියා. පිටිය වටා ලකුණු රැස් කරමින් ඉනිමක් ගොඩනැගිය හැකි ඔහු ගෙවුණු තරග වාරයේ දී ලකුණු 400කට වඩා රැස් කරගෙන සිටීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ ද ක්‍රීඩා කරන ශෙවෝන් ඩැනියෙල් සාන්ත ජෝසප් කණ්ඩායමේ තවත් ප්‍රධානතම ක්‍රීඩකයෙක්. ප්‍රවේගකාරී පිතිකරුවෙක් වන ඔහු නිමා වූ බංග්ලාදේශ, එංගලන්ත තරගාවලිවල දී ජාත්‍යන්තර තරග අත්දැකීම් ද තමන්ගේ අත්දැකීම් ගොන්නට එකතු කර ගත්තා.

ශෙවෝන්ගේ සවියට සදීෂ් ජයවර්ධන සාන්ත ජෝසප් මැදපෙළ සවිමත් කරනවා. ඔහුත් ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක් වීම විශේෂත්වයක්. මීට පෙර ද සාන්ත පීතර – සාන්ත ජෝසප් මහා ක්‍රිකට් තරගවල දී සුපිරි ඉනිම් ක්‍රියාත්මක කර ඇති ඔහු මෙවර සාන්ත ජෝසප් පිතිකරණ ලැයිස්තුවේ ප්‍රධානතම තුරුම්පුවක්.

වෙල්ලාලගේගේ සහයට සාන්ත ජෝසප් පන්දු යවන්නන්ගේ අතර පෙරමුණේම සිටින්නේ ශෙනුක ද සිල්වා. දකුණතින් දඟපන්දු යවන ඔහු මෙවර තරග වාරයේ තරග 8ක දී කඩුලු 12ක් රැස් කරගෙන තිබෙනවා.

අත්දැකීම් බහුල ක්‍රීඩකයෙක් වන නිපුනක ෆොන්සේකා සාන්ත පීතර කණ්ඩායමේ නායකත්වය දරනවා. වසර කිහිපයක්ම කණ්ඩායම නියෝජනය කර ඇති ඔහු, මෙවර සාන්තුවරයින්ගේ සටන වෙනස් කළ හැකි ක්‍රීඩකයෙක්.

නිපුනක ෆොන්සේකා මෙවර තරග වාරයේ දී ශතකයක් හා අර්ධ ශතක දෙකක් සමඟින් ලකුණු 300කට වඩා රැස් කරගෙන සිටිනවා. ඔහු ඒ සඳහා ක්‍රීඩා කර ඇත්තේ තරග 6ක් පමණක් වීම විශේෂත්වයක්.

නායක ෆොන්සේකාගේ සහයට එන සාන්ත පීතර පිතිකරණ ලැයිස්තුවේ තවත් තුරුම්පුවක් වන්නේ ශෙනාල් බොතේජු. වමත් පිතිකරුවෙක් ලෙස පන්දුවට පහර දෙන ඔහු මෙවර තරග වාරයේ වැඩිම ලකුණු ලාභීන් අතර ද ඉදිරියෙන්ම සිටින ක්‍රීඩකයෙක්.

සාන්ත පීතර කණ්ඩායමේ ද ශ්‍රී ලංකා 19න් පහළ ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයින් තිදෙනෙක් සිටිනවා. ලහිරු දවටගේ, ධනාල් හේමානන්ද හා වනුජ කුමාර සාන්ත පීතර අභිමානය ශ්‍රී ලංකා කණ්ඩායමට රැගෙන ගිය ක්‍රීඩකයින්.

කඩුලු රකින ක්‍රීඩක දවටගේ මෙවර සාන්තුවරුන්ගේ සටනට පිවිසෙන්නේ පසුගිය සාන්තුවරුන්ගේ මහා තරගයේ දී රැස් කර ගත් විශිෂ්ට අර්ධ ශතකයක මතකයක් ද සමඟිනුයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ අත්දැකීම් ද සමඟින් ඔහුත් මෙවර මහා තරගයේ භයානකම ක්‍රීඩකයෙක් වනු නොඅනුමානයි.

වමත් වේගපන්දු යවන ක්‍රීඩක ධනාල් හේමානන්ද මෙවර තරගයේ දී සාන්ත ජෝසප් පිතිකරුවන්ට හිසරදයක් වනු නොඅනුමානයි. පන්දුව දෙපසටම දෝලනය කරන වේගපන්දු යවන්නෙක් වන ඔහු මෙවර සාන්ත පීතර පන්දු යැවීමේ බල ඇණියේ ප්‍රධානතම අවියයි.

19න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි දස්කම් දැක්වූ වනුජ කුමාර මේ වන විට එම කණ්ඩයමේ ද නිත්‍ය පන්දු යවන්නෙක් බවට පත්වී සිටිනවා. වමත් දඟපන්දු යවන්නෙක් වන ඔහුගේ පන්දුවලින් ගැලවීම සාන්ත ජෝසප් පිතිකරුවන්ට ප්‍රබල අභියෝගයක් වනු ඇත.

  • සාන්ත ජෝසප් සංචිතය – දුනිත් වෙල්ලාලගේ (නායක), ශෙරාන් ෆොන්සේකා, ශෙවෝන් ඩැනියෙල්, සදීෂ් ජයවර්ධන, දිනාල් අනුරාධ, ෂෙනුක ද සිල්වා, යෙසිත් රූපසිංහ, මිතිර තෙනුර, ලහිරු අමරසේකර, හිරාන් ජයසුන්දර, දේශාන් සෙනෙවිරත්න, හිරුන් කපුරුබණ්ඩාර, යෙනුල දෙව්තුස, සහන දාබරේ, ජේඩන් මාකාලන්ද, කෙනෙත් ලියනගේ, ගගන් චමෝද්, ශෙනුක් සේරසිංහ, සසංක රණවීර
  • සාන්ත පීතර සංචිතය – නිපුනක ෆොන්සේකා, විනුද ලියනගේ, වනුජ කුමාර, ෂෙනාල් බොතේජු, ලහිරු දවටගේ, සනුක ගලගොඩ, සංශේ ගුණතිලක, නිමාන් උමේෂ්, ධානාල් හේමානන්ද, නිමුතු ගුණවර්ධන, චමෙල්කර් ද සිල්වා, ලකිඳු සචින්, මොනිල් සිල්වා, ජෙශුරන් බෙන්ජමින්, රුසඳ ගමගේ, විෂෙන් හලල්බගේ, ෂනොන් රොද්‍රිගෝ

සාන්ත ජෝසප් විද්‍යාලයේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ ඩිලාන් රාමනායක මහතායි. සාන්ත පීතර විද්‍යාලය අත්දැකීම් බහුල රොජර් විජේසූරිය මහතාගේ පුහුණුකාරීත්වයෙන් මෙවර සාන්තුවරුන්ගේ සටනට පිවිසෙනවා.

ප්‍රේක්ෂක සහභාගීත්වයකින් තොරව පැවැත්වෙන සාන්තුවරුන්ගේ සංග්‍රාමයේ උණුසුම ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<