දෙවැනි දිනයේ වැඩි ගෞරවය වළල ඒ රත්නායක විද්‍යාලයට

Ritzbury පාසල් සහය දිවීමේ සැණකෙළිය 2023

900
Ritzbury All Island Schools Relay Carnival 2023

ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය සහ Ritzbury විසින් සංවිධානය කරනු ලබන Ritzbury පාසල් සහය දිවීමේ සැණකෙළියේ දෙවැනි දිනයේ තරග අදත් (25) පැවැත්වුණේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දීයි. 

දින තුනක් පුරාවට පැවැත්වෙන මෙම තරගාවලියේ අද දිනය තුල වැඩි වශයෙන් අවසන් පූර්ව සහ මූලික වටයේ තරග ඉසව් පැවැත්වූ අතර මීටර් 800 සහ 50 සහය දිවීමේ අවසන් තරග ද පැවැත්වුණා. 

උදෑසන පැවති 16න් පහළ බාලිකා 4x800m අවසන් තරගය මිනිත්තු 10:15.6ක කාලයකින් අවසන් කරමින් ජයග්‍රහණය වාර්තා කිරීමට වළල ඒ රත්නායක විද්‍යාලයේ ක්‍රීඩිකාවන් සමත් වෙද්දී, 18න් පහළ බාලිකා අවසන් තරගය ද වළල ක්‍රීඩිකාවන් විසින් ජයග්‍රහණය කළේ මිනිත්තු 10:06.5ක කාලයකින් ඉසව්ව අවසන් කරමිනුයි 

20න් පහළ බාලිකා 4x800m අවසන් තරගයේ දී ද සිය ආධිපත්‍ය පතුරවමින් ජයග්‍රහණය වාර්තා කිරීමට වළල ක්‍රීඩිකාවන් (මිනිත්තු 09:25.6) සමත් වුනේ ඉසව්වේ සියලු වයස් කාණ්ඩවල ජයග්‍රහණය සඳහා හිමිකම් කියමිනුයි 

16න් පහළ බාලක 4x800m ඉසව්ව තත්පර 8:42.9ක කාලයකින් අවසන් කරමින් ජයග්‍රහණය කිරීමට මැණික්හින්න මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩකයින් සමත් වෙද්දී, 18න් පහළ බාලක තරගයේ ජයග්‍රහණය දිනා ගත්තේ වළල ඒ රත්නායක (මිනිත්තු 8:40.0) ක්‍රීඩකයින් විසිනුයි. 

මිනිත්තු 08:06.2ක කාලයකින් ඉසව්ව අවසන් කළ වළල ක්‍රීඩකයින් 20න් පහළ බාලක 4x800m තරගය ද ජයග්‍රහණය කරන්නට සමත් වුනා. 

දිනයේ පැවති වේගවත්ම ඉසව්ව වූ 4x50m සහය දිවීමේ ඉසව්වේ 12න් පහළ ජයග්‍රහණය දිනා ගත්තේ කොළඹ රාජකීය විද්‍යාලය විසිනුයි. ඔවුන් වාර්තා කළ කාලය තත්පර 28.6ක්.  

14න් පහළ බාලක 4x50m ඉසව්ව තත්පර 26.1ක කාලයකින් අවසන් කළ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ක්‍රීඩකයින් ඉසව්ව ජයග්‍රහණය කළ අතර බාලිකා තරගය ජයග්‍රහණය කළේ පන්නිපිටිය ධර්මපාල (තත්පර 27.1) විද්‍යාලයීය ක්‍රීඩිකාවන් විසිනුයි 

>>තරගාවලියේ මෙතෙක් අවසන් ප්‍රතිඵල<< 

තරගාවලියේ තෙවැනි සහ අවසන් දිනය හෙටයි (26). තරගාවලියේ සියලු තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟ. 

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<