Ritzbury සහය දිවීමේ සැණකෙළිය සති අන්තයේ දී

Ritzbury සහය දිවීමේ සැණකෙළිය 2023

330
Ritzbury සහය දිවීමේ සැණකෙළිය 2023

ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය සහ Ritzbury ආයතනය සංවිධානය කරන මලල ක්‍රීඩා තරගාවලි පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් අද (20) පැවැත්වුණේ කොළඹ ටාජ් සමුද්‍ර හෝටල් පරිශ්‍රයේ දීයි.

පාසල් මලල ක්‍රීඩා සංගමයේ සභාපති කුසල් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම මාධ්‍ය හමුව සඳහා Ritzbury ආයතනය නියෝජනය කරමින් නිළුපුල් ද සිල්වා මහතා සහ අරුණ ලියනපතිරණ මහතා සහභාගී වුනා.

මෙවර Ritzbury ආයතනය පාසල් මලල ක්‍රීඩා පිටියේ තරගාවලි තුනක් සඳහා අනුග්‍රහය ලබා දෙන අතර එයින් පළමු තරගාවලිය වන පාසල් සහය දිවීමේ සැණකෙළිය මෙම සති අන්තයේ දී පැවැත්වීමට නියමිතයි.

ජුනි 24 වැනිදා සිට 26 වැනිදා දක්වා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත මෙම තරගාවලිය සඳහා පාසල් 200ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4000කට ආසන්න ගණනක් සහභාගී වීමට නියමිතයි.

එම තරගාවලියෙන් පසුව ශ්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයේ පළමු අදියරේ තරග පැවැත්වීමට නියමිත අතර එහි අවසන් තරගාවලිය වන 51 වැනි ශ්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවය නොවැම්බර් 3 වැනිදා සිට 5 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය පිළිබඳව අදහස් දක්වමින් CBL Foods International ආයතනයේ සාමාන්‍යාධිකාරී නිළුපුල් ද සිල්වා මහතා ප්‍රකාශ කළේ, මෙවර තරගාවලියට පළමු අදියරේ දී උතුරු සහ නැගෙනහිර පළාත් කේන්ද්‍ර කර ගනිමින් තරගාවලියක් පැවැත්වීමට ද සැලසුම් කර තිබෙන බවයි.

මෙවර ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවය සැප්තැම්බර් 12 වැනිදා සිට 16 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර එම තරගාවලිය ද පැවැත්වෙන්නේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දීයි.

“මෙම තරගාවලියේ සාර්ථකත්වය සහ වර්ධනය සඳහා Ritzbury ආයතනය ලබා දෙන මෙම අනුග්‍රහය ඉතාම වැදගත් වෙනවා. මෙම තරගාවලිය සඳහා මීට පෙරත් එම ආයතනයෙන් විශාල සහයක් ලැබුණා.

මෙවර තරගාවලිය සඳහා සහයෝගය ලබා දීමට කැපවීම ගැන Ritzbury ආයතනයට ස්තුතිය පුද කරන්න ඕන වගේම ක්‍රීඩාවේ දියුණුව සඳහා කැප වී සිටින Ritzbury වැනි දේශීය සන්නාමයක අනුග්‍රහයක් ලැබීම අපිට විශාල සතුටක්, යැයි පාසල් මලල ක්‍රීඩා සංගමයේ ප්‍රධානියා ප්‍රකාශ කළා.

2023 Ritzbury සහය දිවීමේ සැණකෙළියේ සියලු පුවත් සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<