Shoaib Malik සහ Usman Shinwari මෙවරත් Jaffna Kings සමඟ

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2021

252

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් (LPL)  තරගාවලිය නියෝජනය කරන Jaffna Kings කණ්ඩායම විදේශීය ක්‍රීඩකයින් 06 දෙනකුගෙන් සමන්විත වන අතර එම ක්‍රීඩකයින්ගෙන් සිව්දෙනෙකු ක්‍රීඩක වෙන්දේසියට පෙර රඳවා තබා ගැනීමට ඔවුන්ට අවස්ථාව හිමි වේ.

ඒ අනුව පසුගිය ජයග්‍රාහී යාපනය කණ්ඩායම සඳහා ක්‍රීඩා කළ පාකිස්තානු ජාතික ප්‍රමුඛ පෙළ ජාත්‍යන්තර ක්‍රීඩකයින් දෙදෙනකු වන Shoaib Malik සහ Usman Shinwari මෙවරත් එලෙස රඳවා තබා ගන්නා විදේශීය ක්‍රීඩකයින් අතරට එක් වෙයි.

පාකිස්තානු ජාතික ක්‍රිකට් කණ්ඩායමට 2007 සිට 2009 දක්වා නායකත්වය ලබා දුන්  හිටපු නායක Shoaib Malik එම කණ්ඩායමේ සාර්ථකත්වය සඳහා තුන් ඉරියව් මැදපෙළ ක්‍රීඩකයකු ලෙස දස්කම් දැක්වූ විශිෂ්ට ක්‍රීඩකයෙකි.

Shoaib Malik 2001 දී ටෙස්ට් වරම් ලබා ඇති අතර එක්දින ක්‍රිකට් පිටියට පිවිසෙන්නේ 1999 දී ය. ටෙස්ට් තරගාවලි 35ක්, එක්දින ජාත්‍යන්තර තරග 287ක් සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 119කින් Shoaib Malikගේ ක්‍රිකට් දිවිය වර්ණවත් වී ඇත.

එක්දින ජාත්‍යන්තර පිටියේ ලකුණු 7534ක් රැස්කර සිටින මලික් ඊට ශතක 9ක් හා අර්ධ ශතක 47ක් එක් කරමින් ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය 34.5ක රඳවාගෙන සිටින අතිදක්ෂ පිතිකරුවෙකි.

Shoaib Malik විස්සයි විස්ස තරග 119ක දී ලකුණු 2380ක් රැස්කර ඇති අතර ජාත්‍යන්තර T20 තරග වැඩිම සංඛ්‍යාවකට ක්‍රීඩා කර ඇති T20 තරග බිමේ පරිණතම ක්‍රීඩකයා ද ඔහු වෙයි. මලික් IPL ඇතුළු ලීග ගණනාවකට ක්‍රීඩා කරන අතර ජාත්‍යන්තර T20 කඩුලු 28ක්, එක්දින කඩුලු 158ක් හා ටෙස්ට් කඩුලු 32ක් ලබා ගනිමින් පන්දුවෙන් ද දක්ෂතා පෙන්වූ විශිෂ්ට තුන්ඉරියව් ක්‍රීඩකයෙකි.

Shoaib Malik මේ වන විට පැවැත්වෙන ලෝක කුසලාන T20 තරගාවලිය සඳහා පාකිස්තානු කණ්ඩායම නියෝජනය කරන අතර පසුගිය දා ඇෆ්ගනිස්ථානය සහ නවසීලන්තයට එරෙහිව පැවති තරගවල දී සාර්ථකත්වයට පත්වීම ද විශේෂත්වයකි.

මෙවර T20 තරගාවලිය සඳහා ක්‍රීඩා කරන පරිණතම සහ අත්දැකීම් බහුලම ක්‍රීඩකයා වන්නේ ද Shoaib Malik ය. පසුගිය 2020 ලංකා ප්‍රියර් ලීග් තරගාවලියේ ජයග්‍රාහී යාපනය කණ්ඩායම නියෝජනය කළ Malik එම තරගාවලියේ දී ලකුණු 203ක් ලබා ගනිමින් යාපනය කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභීන් අතර තුන්වැනියා බවට ද පත්විය. එම තරගාවලියේ අවසන් මහා තරගයේ දී තරගයේ වීරයා බවට පත්වන Malik එම තරගයේ දී පන්දු 35කට ලකුණු 46ක් ලබා ගැනීමට ද සමත් වෙයි.

Jaffna Kings සමඟ මෙවර එක්වී සිටින අනෙක් පාකිස්තානු ක්‍රීඩකයා වන්නේ Usman Shinwari ය. ඔහු Jaffna Kings සමඟ එක්වන දෙවන වමත් මද වේගපන්දු යවන්නා වෙයි. Usman පන්දු යවන්නකු ලෙසින් ප්‍රාන්ත කණ්ඩායම් රැසක ක්‍රීඩා කර ඇති තරුණ ක්‍රිකට් ක්‍රීඩකයෙකි.

එක්දින ජාත්‍යන්තර තරග 17ක දී කඩුලු 34ක් දවාගෙන සිටින Usman ජාත්‍යන්තර මට්ටමේ විස්සයි විස්ස තරග 16කට සහභාගී වී ඇති අතර පළමු පෙළ හා ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලි රැසකට සහභාගී වී ඇති දක්ෂ පන්දු යවන්නෙකි.

ශ්‍රි ලංකාවට එරෙහිව සාජා හි දී පැවති තරගයක දී එක්දින ක්‍රිකට් පිටියට පිවිසෙන Usman සාජා හිදී ම ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු පහක් දවා ගැනීමට සමත් වීම ද විශේෂත්වයකි.

ජාත්‍යන්තර T20 තරග 96ක දී කඩුලු 116ක් ලබා සිටින Usman ලීග් තරගාවලි ගණනාවකට ක්‍රීඩා කර ඇති පළපුරුදු පන්දු යවන්නෙකු වෙයි. පසුගිය ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී ජයග්‍රාහී යාපනය කණ්ඩායම නියෝජනය කළ Usman එම තරගාවලියේ තරග 7ක දී කඩුලු 9ක් ලබා ගනී.

Jaffna Kings කණ්ඩායම ක්‍රීඩක වෙන්දේසියට ප්‍රථම රඳවා තබා ගන්නා විදේශීය ක්‍රීඩකයින් සිව්දෙනා අතරට Icon player ලෙස එක්වූ දකුණු අප්‍රිකානු ක්‍රීඩක Faf du Plessis සහ Diamond player ලෙස එක් වූ පකිස්තානු ක්‍රීඩක Wahab Riaz ද ඇතුළත් වෙයි. Jaffna Kings කණ්ඩායමේ අනෙක් විදේශීය ක්‍රීඩකයින් දෙදෙනා ක්‍රීඩක වෙන්දේසියේ දී Jaffna Kings සමඟ එක් වීමට නියමිතයි.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<