ඉන්දියාව ඉවතට යවමින් නවසීලන්තය අවසන් පූර්ව වටයට

195

2021 පන්දුවාර විස්ස ලෝක කුසලානයේ අබුඩාබි නුවර Sheikh Zayed ක්‍රීඩාංගණයේ දී අද (07) පැවති ඇෆ්ගනිස්තානය සහ නවසීලන්තය අතර තරගයෙන් කඩුලු 8ක පහසු ජයක් ලබා ගැනීමට නවසීලන්තයට හැකි වුනා.

නවසීලන්ත කණ්ඩායමට අවසන් පූර්ව වටයට පිවිසීම සඳහා මෙම තරගය ජයග්‍රහණය කිරීම ඉතා වැදගත් වූ අතර ඇෆ්ගනිස්තාන කණ්ඩායමට ද මෙම තරගය ඉතා හොඳින් ජයග්‍රහණය කර සිය දල ලකුණු වේගය ඉහළ නංවා ගැනීමට ඉතා වැදගත් වුනා.

එම නිසාවෙන් දෙවැනි කාණ්ඩයේ අති තීරණාත්මක තරගයක් වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඇෆ්ගනිස්තාන නායක Mohammad Nabi පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

  • ඇෆ්ගනිස්තානය: Hazratullah Zazai, Mohammad Shahzad (wk), Rahmanullah Gurbaz, Najibullah Zadran, Gulbadin Naib, Mohammad Nabi (c), Karim Janat, Rashid Khan, Naveen-ul-Haq, Hamid Hassan, Mujeeb Ur Rahman
  • නවසීලන්තය: Martin Guptill, Daryl Mitchell, Kane Williamson (c), Devon Conway (wk), Glenn Phillips, James Neesham, Mitchell Santner, Adam Milne, Tim Southee, Ish Sodhi, Trent Boult

ඇෆ්ගනිස්තාන නායකයාගේ තීරණයට අභියෝගයක් එල්ල කරමින් ඇෆ්ගනිස්තාන පළමු කඩුලු 3ම ලකුණු 19ක් තුළ දවා ගැනීමට නවසීලන්ත පන්දු යවන්නන්ට හැකි වුනේ Hazratullah Zazai, Mohammad Shahzad සහ Rahmanullah Gurbaz නරඹන්නන් බවට පත්කරමිනුයි.

සිව්වැනි කඩුල්ල සඳහා ලකුණු 37ක සම්බන්ධතාවක් ගොඩනැගීමෙන් පසුව ලකුණු 15ක් ලබා සිටි Gulbadin Naib පිටියෙන් ඉවත් කිරීමට Ish Sodhiට හැකි වුනා.

Najibullah Zadran සමඟ එක්ව පස්වැනි කඩුල්ල සඳහා ලකුණු 59ක වටිනා සම්බන්ධතාවක් ගොඩනැගීමෙන් අනතුරුව Tim Southeeගේ පන්දුවක් හමුවේ ලකුණු 14ක් ලබා සිටි නායක Nabi දැවී යන විට මුළු ලකුණු සංඛ්‍යාව දිස්වුනේ කඩුලු 5ක් දැවී ලකුණු 115ක් ලෙසයි.

ඇෆ්ගනිස්තාන ඉනිමේ ගැළවුම්කරුවා වෙමින් පන්දු 48ක් තුළ හයේ පහර තුනක් සහ හතරේ පහර 6ක් සමඟ ලකුණු 73ක් රැස්කිරීමෙන් පසු Najibullah Zadran දැවී ගියේ Trent Boultගේ පන්දුවක් හමුවේයි.

නවසීලන්ත පන්දු යවන්නන් අවසන් පන්දුවාර කිහිපයේ දී පෙන්නුම් කළ විශිෂ්ට පන්දු යැවීම නිසාවෙන් ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයන්ට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 124ක් පමණයි.

පන්දු යැවීමේ දී Trent Boul කඩුලු තුනක් සහ Tim Southee කඩුලු දෙකක් දවා ගැනීමට සමත් වූ අතර Ish Sodhi, James Neesham සහ Adam Milne අතර එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

ලකුණු 125ක තීරණාත්මක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස ලකුණු 17ක් ලබා සිටි Daryl Mitchell පිටියෙන් ඉවත් කිරීමට Mujeeb Ur Rahmanට හැකි වුනේ මුළු ලකුණු සංඛ්‍යාව 26 දීයි.

දෙවැනි කඩුල්ල සඳහා Kane Williamson සමඟ එක්ව ලකුණු 31ක සම්බන්ධතාවක් ගොඩනැගීමෙන් අනතුරුව ලකුණු 28ක් ලබා සිටි Martin Guptill දවා ගනිමින් පන්දුවාර විස්ස (ජාත්‍යන්තර සහ ජාත්‍යන්තර නොවන) පිටියේ කඩුලු 400 සම්පූර්ණ කිරීමට Rashid Khanට හැකි වුනා.

ඉන්පසු පිටියේ එක්වූ Kane Williamson සහ Devon Conway තුන්වැනි කඩුල්ල සඳහා ගොඩනැගූ ලකුණු 68ක නොබිදුණු සම්බන්ධතාව නිසාවෙන් නවසීලන්තය පන්දුවාර 18.1ක් අවසානයේ කඩුලු දෙකක් පමණක් දැවී ජයග්‍රාහී සීමාව පසුකර ගියා.

Kane Williamson පන්දු 42ක් තුළ හතරේ පහර 3ක් සමඟින් ලකුණු 40ක් රැස්කිරීමට සමත් වූ අතර Devon Conway පන්දු 32ක් තුළ හතරේ පහර හතරක් සමඟ ලකුණු 36ක් රැස්කිරීමට සමත් වුනා.

මෙම ජයග්‍රහණයත් සමඟ දෙවැනි කාණ්ඩයෙන් පාකිස්තානය සහ නවසීලන්තය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට හැකි වූ අතර ඉන්දියාවට සහ ඇෆ්ගනිස්තානයට  තරගාවලියෙන් ඉවත් වීමට සිදු වුනා.

  • ඇෆ්ගනිස්තානය; 124/8 (20): Najibullah Zadran 73, Mohammad Nabi 15, Trent Boult 3/17, Tim Southee 2/24
  • නවසීලන්තය; 125/2 (18.1); Kane Williamson 40*, Devon Conway 36*, Rashid Khan 1/27.

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<