චමෝද්ගේ ගෝල ත්‍රිත්වය තවත් සාර්ථක සෝන්ඩර්ස් හඹා යාමක්

175

2018/19 ‘Dialog’ ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ 11 වැනි සතියේ තරගයක් ලෙස ඊයේ (16) කොළඹ සුගතදාස පාපන්දු ක්‍රීඩාංගණයේ දී පැවති සෝන්ඩර්ස් පාපන්දු ක්‍රීඩා සමාජ කණ්ඩායම සහ සුපර් සන් පාපන්දු ක්‍රීඩා සමාජය අතර තරගයේ දී සෝන්ඩර්ස් කණ්ඩායම ගෝල දෙකක් පසුපසින් සිට හඹාවිත් ගෝල 3-2ක් ලෙස තරගයේ ජයග්‍රහණය තහවුරු කරගන්නට සමත් වූ අතර එහි දී ඔවුන් වෙනුවෙන් චමෝද් දිල්ෂාන් විශිෂ්ට ගෝල ත්‍රිත්වයක් වාර්තා කරගන්නට සමත් විය.

රත්නම් – බ්ලූ ස්ටාර් විසඳුමකින් තොරයි

2018/19 ‘Dialog’ ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ 11 වැනි …

ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ පසු වූ සෝන්ඩර්ස් කණ්ඩායම මීට පෙර තරගයේ දී රිනවුන් කණ්ඩායමට එරෙහිව ගෝල දෙකක් පසුපසින් සිට හඹාගොස් ගෝල 3-2ක් ලෙස තරගය ජයග්‍රහණය කරන්නට සමත් වූ අතර අනෙක් පසින් සුපර් සන් කණ්ඩායම මීට පෙර තරගයේ දී නාවික හමුදා බ්ලූ හෝක්ස් කණ්ඩායම ගෝල 1-0ක් ලෙස පරාජයට පත්කරන්නට සමත් විය.

තරගය ආරම්භයේ දී ම විශිෂ්ට ක්‍රීඩා විලාශයක් දියත් කළ සුපර් සන් ක්‍රීඩකයින් තරගයේ පළමු මිනිත්තු 5 තුළ ගෝල දෙකක් වාර්තා කරගනිමින් තරගයට ප්‍රබල ආරම්භයක් ලබා ගන්නට සමත් විය. එහි දී පළමු ගෝලය ඔලුවටෝසින් ඩැනියෙල් ලබා දුන් පන්දුවක් සාර්ථකව අවසන් කළ අෆීස් ඔලයෙමි විසින් වාර්තා කර ගනු ලැබූ අතර දෙවන ගෝලය වාර්තා කර ගනු ලැබුවේ මොහොමඩ් ෆසාන් විසිනි. එහි දී පිටියේ මැද භාගයේ දී වම් අන්තයෙන් පන්දුව ලබාගත් ඔහු ඉතා විශිෂ්ට ලෙස ප්‍රතිවාදී ක්‍රීඩකයින් පසුකරමින් පන්දුව ගෝල රාමුව ආසන්නයට රැගෙන යමින් සාර්ථකව එය ඒ තුළට යොමුකරමින් එම ගෝලය වාර්තා විය.

කෙසේ නමුත් ඉන් අනතුරුව ක්‍රියාත්මක වූ සෝන්ඩර්ස් කණ්ඩායම ද දැඩි ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් දියත් කරන්නට වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස තරගයේ 20 වැනි මිනිත්තුව වන විට ගෝල දෙකක් වාර්තා කරගනිමින් තරගයේ ලකුණු තත්වය සම කරන්නට ඔවුන් සමත් විය. එම ගෝල ද්විත්වයම වාර්තා කර ගනු ලැබුවේ චමෝද් දිල්ෂාන් විසිනි. එහි දී පළමු ගෝලය සුන්තරාජ් නිරේෂ් ඉතා විශිෂ්ට ලෙස ලබා දුන් පන්දුවක් පහසුවෙන් ගෝල රාමුව තුළට රැගෙන යමින් එය අවසන් කරමින් වාර්තා වූ අතර දෙවන ගෝලය වාර්තා වූයේ ක්‍රිෂාන්ත අබේසේකර පිටියේ දකුණු අන්තයේ සිට ලබා දුන් පන්දුවකට ගෝල රාමුව ආසන්නයේ සිට හිසින් පහරක් එල්ල කරමිනි.

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

පළමු අර්ධයේ ඉතිරි මිනිත්තු කිහිපය තුළ කණ්ඩායම් දෙකම ගෝල වාර්තා කිරීමට අවස්ථා කිහිපයක්ම නිර්මාණය කර ගනු ලැබුවත් ඒවා සාර්ථකව ගෝල බවට පරිවර්තනය කරගන්නට ඔවුන් සමත් වූයේ නැත.

පළමු අර්ධය: සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය 02 – 02 සුපර් සන් ක්‍රීඩා සමාජය

දෙවන අර්ධයට හොඳ ආරම්භයක් ලබා ගත් සෝන්ඩර්ස් ක්‍රීඩකයින් ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් දියත් කරමින් ගෝලයක් වාර්තා කරගන්නට අවස්ථාවන් කිහිපයක්ම සාර්ථක කර ගනු ලැබුවත් ඔවුන් ඒවා සාර්ථකව අවසන් කරගන්නට අසමත් විය. එහි දී චමෝද් හට අවස්ථාවන් දෙකක් හිමිවුවත් එහි පළමු අවස්ථාවේ දී ඔහු එල්ල කළ පහර ගෝල රාමුවට ඉහතින් ඇදී ගිය අතර දෙවන අවස්ථාවේ දී එල්ල කළ පහර ඉතා විශිෂ්ට ලෙස නවතාලන්නට සුපර් සන් ගෝල රකින ක්‍රීඩක මොහොමඩ් මුබෂීර් සමත් විය.

අඛණ්ඩව තෙවන වසරටත් ශූරතාවය ජෝසප්වරුන්ට

මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය අතර…

දෙවන අර්ධයේ ඉතිරි මිනිත්තු කිහිපය තුළ කණ්ඩායම් දෙකම ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් දියත් කරමින් ගෝලයක් වාර්තා කරගැනීමට උත්සාහ දැරුවත් එය සාර්ථක නොවුයේ ඔවුන් ගෝල වාර්තා කරගන්නට නිර්මාණය කර ගත් අවස්ථා අවසන් කරගැනීමට ඔවුන් අසමත් වීමත් සමඟයි. කෙසේ නමුත් එහි දී මුබෂීර් මෙන්ම සෝන්ඩර්ස් ගෝල රකින ක්‍රීඩක අසංක විරාජ් ද විශිෂ්ට ගෝල රැකීමක නිරත වෙමින් අවස්ථාවන් කිහිපයක්ම නවතාලන්නට සමත් විය.

නමුත් තරගය අවසන් වන්නට ඉතා ආසන්නයේ දී නැවතත් ක්‍රියාත්මක වූ චමෝද් තවත් ගෝලයක් වාර්තා කරගනිමින් සිය ගෝල ත්‍රිත්වය ද සම්පූර්ණ කරගනිමින් සෝන්ඩර්ස් කණ්ඩායම ජයග්‍රහණය වෙත රැගෙන ගියේ සිය කණ්ඩායමේ විශිෂ්ට හඹා යාමක් නැවත වරක් සාර්ථක කරමිනි.

සම්පූර්ණ කාලය: සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය 03 – 02 සුපර් සන් ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා – චමෝද් දිල්ෂාන් (සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය)

ගෝල ලාභීන්

  • සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය – චමෝද් දිල්ෂාන් 14’, 21’, 90+1’
  • සුපර් සන් ක්‍රීඩා සමාජය – අෆීස් ඔලයෙමි 02’, මොහොමඩ් ෆසාන් 5’

කහ කාඩ්පත්

  • සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය – සංජුක ප්‍රියදර්ශන 45+1’
  • සුපර් සන් ක්‍රීඩා සමාජය – අසංක ද සිල්වා 83’

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<