බංග්ලාදේශ – නවසීලන්ත තරගාවලිය සැලසුම් කළ පරිදිම!

338
(Espncricinfo)

නවසීලන්තයේ සංචාරයක නිරත බංග්ලාදේශ කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ PCR පරීක්ෂණ වල ප්‍රතිඵල ඍණාත්මක වී තිබෙනවා. බංග්ලාදේශ කණ්ඩායම ටෙස්ට් තරග දෙකක් සඳහා නවසීලන්තයට ගිය අතර කණ්ඩායමේ දඟපන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කරන රංගන හේරත් හට එහි දී කළ පරීක්ෂණයක දී COVID-19 වැළඳී ඇතැයි හඳුනා ගත්තා.

“අපි ඊයේ අවසන් කොරෝනා පරීක්ෂණය සිදුකළා. අද (20) එහි ප්‍රතිඵල ලැබුනා. හැමෝගෙම ප්‍රතිඵල ඍණාත්මකයි.” යයි බංග්ලාදේශ කණ්ඩායමේ අධ්‍යක්ෂක Khaled Mahmud පවසා සිටියා.

“අපිට හෙට නිරෝධායන මධ්‍යස්ථානයෙන් එළියට එන්න පුළුවන්. අපිට හෙට උදෑසන Lincoln විශ්ව විද්‍යාල ක්‍රීඩාංගණයේ පුහුණුවීම් හා එහි ශාරීරික සුවතා මධ්‍යස්ථානයේ පුහුණුවීම් ආරම්භ කරන්නට පුළුවන්. ඉන්පසුව අපිට සුපුරුදු පරිදි හෝටලයට යන්නට පුළුවන්.”

බංග්ලාදේශ දඟපන්දු යවන විශේෂඥ පුහුණුකරු රංගන හේරත්ට COVID-19 ආසාදනය වීම නිසා බංග්ලාදේශ කණ්ඩායමට දෙසැම්බර් 21 වැනිදා දක්වා පුහුණුවීම් වල නිරත වීම සීමා කෙරුනා. එමෙන්ම ඔවුන් වහාම නිරෝධායනයට ද යොමු කෙරුනා.

තවත් ක්‍රිකට් පුවත් කියවන්න:

බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය එහි දී පවසා සිටියේ නවසීලන්ත සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිරෝධායන කාල සීමාව දිගු කිරීම නිසා පුහුණුවීම් කිරීමට නොහැකි වුනොත් තරගාවලිය ක්‍රීඩා කිරීම ගැන නැවත සිතා බැලීමට සිදුවන බවයි.

Cricbuzz වාර්තා කරන අන්දමට රංගන හේරත්ට දෙසැම්බර් 21 වැනිදා පුහුණුවීම් සඳහා එක්වන්නට තවමත් නවසීලන්ත සෞඛ්‍ය අමාත්‍යංශය අවසර ලබා දී නැහැ. කෙසේ වෙතත් ඔහුගේ ද COVID-19 පරීක්ෂණය ඍණාත්මක වී ඇති නිසා ඔහුට ඉතා ඉක්මණින් කණ්ඩායම සමග එක්වන්නට හැකි බවයි වාර්තා වෙන්නේ.

හේරත්ට අමතරව කණ්ඩායමේ තවත් සාමාජිකයින් අට දෙනෙකු හුදෙකලා කෙරුනා. ඔවුන්ගේ PCR පරීක්ෂණ වල ප්‍රතිඵල ද ඍණාත්මක වී තිබෙන බවයි Cricbuzz වාර්තා කරන්නේ.  බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ගමන් කළ ගුවන් යානයක සිටි COVID-19 ආසාදනය වූ පුද්ගලයෙකුගෙන් රංගන හේරත් හට වෛරසය ආසදනය වන්නට ඇතැයි සැක කෙරෙනවා.

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ නවසීලන්තය අතර පළමු ටෙස්ට් තරගය එළඹෙන ජනවාරි 01 වැනිදා Bay Oval ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි. දෙවන තරගය ක්‍රියිස්ට්චර්ච්හි Hagley Oval ක්‍රීඩාංගනයේ එළඹෙන ජනවාරි 09 වැනිදා ආරම්භ වෙනවා.

Cricbuzz ඇසුරින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<