ක්‍රිකට් පිටියේ හරඹ කළ තස්මේනියානු යක්ෂයා

6286

1981 වසරේ දෙසැම්බරයේ දිනයකි. ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර බොක්සිං දින ටෙස්ට් තරගය මෙල්බර්න් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූයේ එදා ය.

කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියානු නායක ග්‍රේග් චැපල් තරගයේ මුලින්ම පන්දුවට පහර දෙන්නට තීරණය කළේය.

ඕස්ට්‍රේලියානු නායකයා බලාපොරොත්තු නොවූ පරිද්දෙන් කොදෙව් කණ්ඩායමේ ආරම්භක වේගපන්දු යවන්නන් දෙදෙනා වූ මයිකල් හෝල්ඩිං සහ ඇන්ඩි රොබර්ට්ස් ඕස්ට්‍රේලියානු මුල්පෙළ පිතිකරුවන් එකාපිට එකා නැවත ක්‍රීඩාගාරයට හරවා පිටමං කරන්නට සමත් විය.

ලකුණු පුවරුව කඩුලු තුනක් දැවී ලකුණු 8ක් සටහන් වෙද්දී ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ උපනායකයා කිම් හියුස් කඩුල්ලට පිවිසියේය.

මයිකල් හෝල්ඩිං, ඇන්ඩි රොබර්ට්ස්, ජොඑල් ගානර් සහ කොලින් ක්‍රොෆ්ට් වැනි වේගපන්දු යවන්නන් ඉදිරියේ අභීතව ක්‍රීඩා කළ හියුස් පිතිකරණයට කිසිසේත් සහයෝගයක් නොදෙන තණතීරුවක අනගි ශතකයක් වාර්තා කර ගත්තේය.

හියුස් මෙලෙස කොදෙව් පන්දු යවන්නන්ට එරෙහිව ශතකයක් වාර්තා කර ගනිද්දී, තස්මේනියානු ප්‍රාන්තයේ කුඩා ගම්මානයක හත් හැවිරිදි දරුවෙකු ඉතා උද්දාමයෙන් මේ ඉනිම නිරීක්ෂණය කරමින් සිටියේය.

ඔව්. කවදාහරි මටත් මේ විදියටම තමයි සෙල්ලම් කරන්න ඕන,” කුඩා දරුවා තමන්ට කියාගත්තේය.

මේ කුඩා දරුවා පසුකලෙක තමාගේ වීරයා වූ කිම් හියුස්ගේ අඩිපාරේ යමින් ඕස්ට්‍රේලියානු ජාතික කණ්ඩායම නියෝජනය කළා පමණක් නොව ඕස්ට්‍රේලියානු කණ්ඩායම මෙහෙය වීමේ භාග්‍යය පවා උදා කරගත්තේය.

මේ ආකාරයෙන් දිග හැරෙන්නේ ක්‍රිකට් ඉතිහාසයේ යුගයක් වර්ණවත් කළ අග්‍රගණ්‍ය පුරාවෘත්තය රිකී තෝමස් පොන්ටිං ගැනය.

මම උපන්නේ තස්මේනියාවේ. බොහෝමයක් වෙලාවට තස්මේනියාව කියන දූපතට ඕස්ට්‍රේලියානු සිතියමේ පවා ලැබෙන්නේ අඩු සැලකිල්ලක්. හැබැයි අපි හරි අභිමානවත් මිනිස්සු.

රිකී පොන්ටිං සිය බාල සහෝදරයා සමඟ

පොඩි කාලේ අපේ පවුලේ උදවියට යහමින් සල්ලි තිබුණේ නෑ. හැබැයි ක්‍රීඩාව අපිට නුහුරු දෙයක් වුනේ නැහැ. ඒක දෙමාපියන්ගෙන්ම ආපු දෙයක්.

ග්‍රේග් කැම්බල් කියන නම ඔබ අහලා ඇති. ඔහු ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙක්. ග්‍රේග් කියන්නේ නෑකමට මගේ මාමා. ඒ කියන්නේ අම්මාගේ සහෝදරයා.

මට වඩා ග්‍රේග් අවුරුදු දහයක් වැඩිමල්. ඒ වගේම වත්ත පිටියේ සෙල්ලම් කරද්දී මගේ ප්‍රතිවාදියෙක්. මගේ ක්‍රිකට් ජීවිතය හරි මගට ගේන්න සෑහෙන පිටිවහලක් වුනේ ග්‍රේග් කිව්වොත් වැරැද්දක් නැහැ.

1989 අළුබඳුන තරගාවලියේ හෙඩින්ග්ලි ක්‍රීඩාංගණයේ පැවති පළමු ටෙස්ට් තරගයේ දී ග්‍රේග් ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගත්තා. ඒක අපේ පවුලේ සාමාජිකයින්ට විශාල සතුටක් ගෙන දුන් මොහොතක් වුනා.

මගේ අම්මාගේ සහෝදරයා ග්‍රේග් ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් එක් අන්තයකින් පන්දු යවද්දී තවත් තස්මේනියානු නියෝජනයක් එදා ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ තිබුණා. ඒ තමයි ඩේවිඩ් බූන්.

ග්‍රේග්ට ඔහුගේ ඕස්ට්‍රේලියානු නිල ඇඳුම් කට්ටලය ලැබුණ මොහොතේ මම මගේ පාපැදියෙන් වහ වහාම ඔහුගේ නිවසට ගියා. බැගීග්‍රීන් හිස්වැස්ම දාගෙන ආඩම්බරයෙන් වටපිට බැලූ හැටි මට තාම මතකයි. ඕස්ට්‍රේලියානු නිල බ්ලේසරය ඒ සමගම තිබුණා. එය නම් මගේ ඇඟට තරමක් ටිකක් විශාලයි. හැබැයි එය ඇඟලා ගත් මොහොතේ පටන් මට හුරුපුරුදු බවක් දැනුණා. ග්‍රේග්ගේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධව මට ඇති හොඳම මතකය එයයි.

ග්‍රේග් රූපවාහිනී තිරයෙන් දකිද්දී මට දැනුණේ පුදුමාකාර හැඟීමක්. කුඩා කාලේ මා එක්ක සෙල්ලම් කරපු ග්‍රේග් අද එංගලන්ත කණ්ඩායමේ පිතිකරුවන්ට පන්දු යවනවා. ග්‍රේග්ට එතනට යන්න පුළුවන් නම් මටත් කවදාහරි ඕස්ට්‍රේලියානු ජාතික කණ්ඩායම නියෝජනය කරන්න පුළුවන් හැඟීම එවලේ මට ආවා.”

පාසල් ක්‍රිකට් පිටියේ, ඕස්ට්‍රේලියානු පළමුපෙළ තරගවල මෙන්ම ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ඇකඩමිය හරහා මුවහත් වූ තරුණ පොන්ටිංගේ ටෙස්ට් ක්‍රිකට් සිහිනය හතකට පසු සැබෑවක් වන ලකුණු පෙනෙන්නට තිබුණි.

1995-96 ඕස්ට්‍රේලියානු තරග වාරය උදා වෙද්දී ඕස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායමේ ස්ථානයකට පොර කමින් සිටියේ මම සහ ජස්ටින් ලැන්ගර්. ස්‍ටුවර්ට් ලෝ ද ඒ පෝළිමේ ඉදිරියෙන්ම සිටි අයෙක්.

1995-96 තරග වාරය වෙනුවෙන් ටෙස්ට් තරග තුනකට සහ බෙන්සන් සහ හෙජස් ලෝක ශූරතා තරගාවලියට ක්‍රීඩා කරන්නට මේ වෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියාවට පැමිණ සිටියා.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවති නිල නොවන සිව්දින තරගයේ දී අගනා ලකුණු 131ක් ලබාගන්න මට පුළුවන් වුනා. ඕස්ට්‍රේලියානු තේරීම් කමිටුවේ සාමාජිකයෙකු වූ ජිම් හිග්ස් ඒ අවස්ථාවේ තරගය නරඹමින් සිටියා.

ස්ටීව් වෝ ආබාධයකට ලක් වී ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ වැකා ක්‍රීඩාංගණයේ දී ආරම්භ කිරීමට නියමිත පළමු ටෙස්ට් තරගයෙන් විවේක ගන්වා ඇති පුවත අපට දැන ගන්නට ලැබුණේ ඒ මොහොතේ. ඒ ප්‍රවෘත්තිය ලැබෙද්දී නම් අනිවාර්යයෙන්ම මට ටෙස්ට් වරම් හිමිවන බව සක්සුදක් සේ පෙනෙන්නට තිබුණා.

තරගයට දින තුනකට කලින් අපි පර්ත් නුවරට ආවා. මට නොසන්සුන් බවක් තිබුණේ නැහැ.

දෙසැම්බර් අට වැනිදා උදෑසන වැකා ක්‍රීඩාංගණයේ දී ශ්‍රී ලංකා නායක අර්ජුන රණතුංග කාසියේ වාසිය දිනාගෙන මුලින්ම පන්දුවට පහර දෙන්නට තීරණය කළා.

සාමාන්‍යයෙන් නවක ක්‍රීඩකයෙක්ට මුලින්ම ලැබෙන්නේ පිතිකරුවා අසල පන්දු රකින්න. නමුත් ඩේවිඩ් බූන් ඒ වෙද්දී ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් ෂෝර්ට්-ලෙග් කලාපය අයිති කරගෙන හිටියේ. ඒ නිසා මට කවර් කලාපය ආවරණය කරන්න සිදු වුනා. ටෙස්ට් ක්‍රිකට් ක්‍රිකට් කුමක්ද යන්න හඳුනා ගන්න ඒක මට උදව්වක් වුනා.

ඕස්ට්‍රේලියානු කණ්ඩායමට පන්දුවට පහර දෙන වාරය උදා වුනා. මයිකල් ස්ලේටර් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට අනුකම්පා විරහිතව පහර දුන්නා. දෙවැනි දිනයට තරගය නතර කරන විට ස්ලැට්ස්ගේ (මයිකල් ස්ලේටර්) නමට ඉදිරියෙන් ලකුණු 189ක්. ස්ලැට්ස් පන්දුවට පහර දුන් ආකාරය නිරීක්ෂණය කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ඇතමුන් ප්‍රකාශ කළේ එවකට ලෝක වාර්තාව වූ බ්‍රයන් ලාරාගේ ලකුණු 375ට පවා තර්ජනයක් ඇති බවයි.

සමහර විට මට මේ තරගයේ පන්දුවට පහර දෙන්න අවස්ථාවක් ලැබෙන එකක් නෑ.

නොහිතපු වෙලාවක ස්ලැට්ස් පන්දු යවපු මුත්තයියා මුරලිදරන් අතටම උඩපන්දුවක් දීලා දැවී ගියා.

ලකුණු පුවරුව කඩුලු තුනක් දැවී ලකුණු 422ක් ලෙස සටහන් වෙද්දී මම මගේ මංගල ටෙස්ට් ඉනිම ක්‍රීඩා කරන්න පිටිය මැද්දට ගියා.

මගේ පවුලේ සාමාජිකයින් සියලු දෙනා නරඹන්නන් අතරේ ඉන්න බව මම දන්නවා. මට තණතීරුව මැද්දට ගියපු ආකාරය, ඉන්න ලබා ගත් ආකාරය හෝ මගේ සගයා මාක් වෝ සමඟ කතා කළ දේවල් කිසිවක් අදටත් මතක නෑ.

මම කලින් දවසක හීනෙන් දැක්කා පළවෙනි බෝලෙන්ම මම අවුට් වෙලා ක්‍රීඩාගාරයට එන විදිය. මෝඩ වැඩ නොකර මුල්ම බෝලෙට කල්පනාවෙන් ගහපන්. මම හෙමින් මුමුණමින් මුරලි එවන මුල්ම පන්දුව පිළිගන්න ලෑස්ති වුනා.

ඒක හොඳට ගුවනේ පා කර එවූ පන්දුවක්. නොදැනුවත්වම මාව සීමා ඉරෙන් ඉදිරියට තල්ලු කරන්න ඒ පන්දුවට හැකියාව තිබුණා.

පිත්තේ පිටත දාරයේ වැදුණ පන්දුව ස්ලිප් කලාපයට ඇදී ගියා. මගේ වාසනාවට ස්ලිප් කලාපයේ සිටි පන්දු රකින්නාට එය රැකගන්නට නොහැකි වුනා. මගේ මුල්ම ටෙස්ට් ලකුණ වාර්තා වුනේ ඒ ආකාරයෙන්.

මගේ ඉනිමේ පළමු පන්දු කිහිපය මම ක්‍රීඩා කළේ ඒ තරම් විශ්වාසයකින් නොවේ. අන්න ඒ අවස්ථාවේ ශ්‍රී ලංකා කණ්ඩායම ලොකු වැරැද්දක් කළා.

මම එතෙක් වෙලා හොයමින් හිටි දේ. ඒක කෙටි පන්දුවක්.

මගේ පුල් පහරත් එක්ක පන්දුව කෙළින්ම නැවතුණේ හතරේ සීමාවට එහා. එතන ඉඳන් ඊළඟ පැය කිහිපයේ සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා පන්දු යවන්නන් මත ආධිපත්‍යය පතුරවන්නට මට හැකියාව ලැබුණා.

එදා අර්ධ ශතකය පසු කරන අවස්ථාවේ දී මම මගේ කුකුබුරා පිත්ත පවුලේ සාමාජිකයින් දෙසට දිගු කර ආචාර කළා. විශේෂයෙන්ම මගේ සමාචාරය දිගු වුනේ මගේ අම්මාට.

ශතකය පෙනී පෙනී දැවී ගිය පොන්ටිංගේ දෙමාපියන් සිය පුත්‍රයාගේ දස්කම් අගයමින්.

අපි ඒ වෙද්දීත් ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු දෙසීයක් විතර ඉදිරියෙන් හිටියේ. මාක් ටේලර් ඕස්ට්‍රේලියානු නායකයාට ඉනිම අත්හිටුවන්නට සිතිවිල්ලක් නැතිබව මට වැටහුණා. මංගල තරගයේ දී ම ශතකයක් වාර්තා කර ගැනීමේ මහඟු අවස්ථාවක් ඇති බව මට මේ වෙද්දී තේරුම් ගිහින් තිබුණේ.

මගේ ශතකය පෙනෙන මානයේ ශ්‍රී ලංකා කණ්ඩායම තෙවැනි නව පන්දුවත් ලබා ගත්තා.

මගේ ශතකයට තවත් ලකුණු හතරක් අවශ්‍ය මොහොතක චමින්ද වාස් එවූ ඇතුළට දෝලනය වූ පන්දුවක් මගේ පිත්ත පසු කර ගොස් කලවා ප්‍රදේශයේ වැදුණා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයින් මහා හඬින් ඉල්ලීමක් කළා. එය කිසිසේත්ම දැවී යාමක් නොවන බව මගේ හිත කිව්වා.

අවාසනාවක මහත. විනිසුරුවරයා මා කඩුල්ල මුවා කළ පිතිකරුවෙකු ලෙස නම් කරන්නට තීරණය කර තිබුණා.

මට ඇතිවූ කේන්තිය සමඟ කොයි ආකාරයෙන් ප්‍රතික්‍රියා දක්වන්න ද කියලා මට තේරුණේ නෑ.

මම ආපහු ක්‍රීඩාගාරයට එන අවස්ථාවේ ශ්‍රී ලංකා නායක අර්ජුන රණතුංග මගේ හිස අතගාමින් යමක් පැවසුවා.

හිස් හැඟීමකින් මම නැවත ක්‍රීඩාගාරයට ඇවිද එද්දී වැකා ක්‍රීඩාංගණයේ සියලු දෙනා සිය අසුන් වලින් නැගිට ආචාර කළ අන්දම මට තවමත් මතකයි.”

එලෙස ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් තැබූ පොන්ටිං සිය තරග දිවියේ ක්‍රීඩා කළ ටෙස්ට් තරග සංඛ්‍යාව 168ක්. එහි දී ලකුණු 13,378ක් රැස් කරන්නට ඔහු සමත් වූයේ ශතක 41ක් සමඟින්. ටෙස්ට් තරග 77කට ඕස්ට්‍රේලියානු කණ්ඩායමට නායකත්වය දුන් පොන්ටිං ඉන් තරග 48ක් ජයග්‍රහණය කරා මෙහෙය වන්නට සමත් වුනා.

රිකී පොන්ටිංගේ ස්වයංචරිතාපදානය Ponting: At the Close of Play ඇසුරෙනි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<