දුෂ්මන්ත, ධනුශ්ක ඉවතට යද්දී කසුන් සහ අශේන්ට ලෝක කුසලාන වරම්

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය 2022

478
Replacements confirmed for Chameera and Gunathilaka

2022 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ආබාධයකට ලක් වූ දුෂ්මන්ත චමීර වෙනුවට කසුන් රාජිත සංචිතයට ඇතුළත් කිරීම සඳහා විස්සයි විස්ස ලෝක කුසලාන තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමිව තිබෙනවා.

පසුගියදා ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ පැවති තරගයේ දී වම් පාදයේ ඇති වූ ආබාධයක් නිසාවෙන් දුෂ්මන්ත චමීර ලෝක කුසලාන සංචිතයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික කමිටුව තීරණය කර තිබුණා.

කසුන් රාජිත දැනට ශ්‍රී ලංකාවේ සිටින අතර ඔහු හැකි ඉක්මණින් ඕස්ට්‍රේලියාව බලා සංචාරය කිරීමට නියමිතයි.

මීට අමතරව මස්පිඬු ආබාධවලට (Hamstring niggles) ගොදුරු වී ඇති ධනුෂ්ක ගුණතිලක ද ශ්‍රී ලංකා සංචිතයෙන් ඉවත් කර තිබෙනවා. ඔහු වෙනුවට සංචිතයේ අතිරේක ක්‍රීඩකයෙකු වන අශේන් බණ්ඩාර විසින් ආදේශ කිරීමට ද විස්සයි විස්ස ලෝක කුසලාන තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමි වුනා.

ඔවුන් දෙදෙනාට අමතරව එක්සත් අරාබි එමීර් රාජ්‍ය ක්‍රීඩක Zawar Farid වෙනුවට අතිරේක ක්‍රීඩකයෙකු ලෙස සංචිතයට ඇතුළත්ව සිටි Fahad Nawaz සංචිතයට ඇතුළත් කර තිබෙනවා. මේ අතර එංගලන්ත කණ්ඩායමේ Reece Topley වෙනුවට Tymal Mills කණ්ඩායමට ඇතුළත් කිරීමට ද තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමිව තිබෙනවා.

ලෝක කුසලාන නීතිරීති අනුව ආබාධයකට ලක් වූ ක්‍රීඩකයෙකු වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු ආදේශ කිරීම සඳහා ලෝක කුසලාන තාක්ෂණික කමිටුවේ අනුමැතිය අවශ්‍ය වනවා. එම අනුමැතිය අනුව ආදේශක ක්‍රීඩකයෙකු නිල වශයෙන් සංචිතයට එක් කළ හැකි වනවා.

2022 විස්සයි විස්ස ලෝක කුසලානය තරගාවලියේ තාක්ෂණික කමිටුවට Wasim Khan (ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ක්‍රිකට් සාමාන්‍යාධිකාරී), Chris Tetley (ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ඉසව් ප්‍රධානි), ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කවුන්සිලයේ Peter Roach, විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ඕස්ට්‍රේලියානු සංවිධායක Shane Doyle ඇතුළත් වන අතර ස්වාධීන සාමාජිකයන් ලෙස Shaun Pollock සහ lan Bishop ඇතුළත් වනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන මීළඟ තරගය නෙදර්ලන්තය සමඟින් හෙට (20) පැවැත්වීමට නියමිතයි.

දවසින් දවස උණුසුම් වන තරගාවලියේ නවතම තොරතුරු දැනගැනීමට රැඳී සිටින්න, ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<