පාකිස්තානය ලෝක කුසලානයෙන් ඉවත් වෙයි ද?

28133

අවශ්‍ය නම් පාකිස්තානය එළඹෙන වසරේ ඉන්දියාවේ දී පැවැත්වෙන පන්දුවාර 50 ලෝක කුසලානයෙන් ඉවත්වන බව පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය පවසා සිටිනවා. ඒ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල ලේකම් Jay Shah විසින් ආසියානු කුසලානය පාකිස්තානයෙන් පිටත ස්ථානයකට රැගෙන යා යුතු බවට කළ ප්‍රකාශයට පිළිතුරු බඳිමිනුයි.

පාකිස්තානය එළඹෙන වසරේ පැවැත්වෙන ආසියානු කුසලානයට සත්කාරකත්වය දැරීමට නියමිතව සිටිනවා. ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති මෙන්ම ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ද වන Jay Shah පසුගියදා පවසා සිටියේ ඉන්දියාව මධ්‍යස්ථ රටක දී ආසියානු කුසලානය ක්‍රීඩා කරන බවයි.

“ICC සහ ACC තරගාවලි වලට පාකිස්තානය සහභාගී නොවුනහොත් එහි වාණිජමය වටිනාකමත් අඩුවෙනවා. ඒ නිසා පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය දරුණු තීරණ ගන්න වුණත් දැන් සූදානම්” යනුවෙන් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ බලධාරියෙකු PTI වෙත පවසා තිබුණා.

ඉන්දියාව අවසන් වරට පාකිස්තානයේ සංචාරයක නිරත වුනේ 2008 ආසියානු කුසලානය සඳහායි. පාකිස්තානය අවසන් වරට පැමිණියේ 2012 වසරේ දීයි.

Hindustan Times වාර්තා කරන අන්දමට පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති Ramiz Raja ඇතුළු ප්‍රධානින් Jay Shahගේ ප්‍රකාශයට දැඩි කණස්සල්ලෙන් සිටිනවා.

“පාකිස්තානයට ආසියානු කුසලානයේ සත්කාරකත්වය ලබා දුන්නේ ACC විධායක කමිටුවයි. එහි සභාපති නොවෙයි. ඒ නිසා Jay Shah එම ප්‍රකාශය කළේ මොන ධුරය වෙනුවෙන් ද කියලා අපි සොයා බලනවා.” යනුවෙන් ද පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයේ සාමාජිකයෙක් පවසා තිබුණා.

Raja විසින් දැඩි ස්වරයෙන් ACC වෙත ලිපියක් යොමු කරන බව ද, Jay Shahගේ ප්‍රකාශය සාකච්ඡා කිරීමට ACC විධායක කමිටුවේ රැස්වීමක් වහා කැඳවන බව ද Hindustan Times වාර්තා කරනවා.

“ආසියානු ක්‍රිකට් කවුන්සිලයෙන් ඉවත් වීම එක ක්‍රියාමාර්ගයක්. ආසියානු ක්‍රිකට් කවුන්සිලය ස්ථාපිත කළේ කලාපයේ ක්‍රිකට් දියුණු කරන්න හා සමගිය ඇති කරන්න. නමුත් ACC සභාපති මෙහෙම ප්‍රකාශ කරනවා නම් පාකිස්තානය එහි සාමාජිකයෙක් වෙලා වැඩක් නැහැ.” පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයේ සාමාජිකයෙක් පවසා තිබුණා.

 Times Of India ඇසුරින්

දවසින් දවස උණුසුම් වන ක්‍රිකට් ලොවේ නවතම තොරතුරු දැනගැනීමට රැඳී සිටින්න, ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<