ශ්‍රී ලංකාවේ අවසන් පදක්කම් බලාපොරොත්තුව පදක්කමකින්ම කෙළවර වෙයිද?

225

ෆින්ලන්තයේ Tampere හි පැවැත්වෙන ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ ශ්‍රී ලංකාවේ අවසන් පදක්කම් බලාපොරොත්තුව වන කාන්තා හා පිරිමි 4X400m සහාය දිවීමේ තරග අද (14) පැවැත්වේ.

අරුණගේත් අමාෂාගේත් සිහින බොඳ වේ

ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමය සංවිධාන කරන ලෝක ශූරතා යොවුන් (වයස අවුරුදු 20 න් පහළ) මලල ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන පදක්කම් බලාපොරොත්තුව වූ අරුණ දර්ශන…

මේ තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11 දෙනෙකු සහභාගී වූ අතර තනි පුද්ගල ඉසව් සඳහා සහභාගී වූ සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ වන විට තරගාවලියෙන් ඉවත්ව ඇත. තරගාවලියේ ආරම්භක දිනයේ දී ම 16 හැවිරිදි පාරමී වසන්ති (කාන්තා- සප්ත ප්‍රයාම)  හා දිලිෂි කුමාරසිංහ (කාන්තා – මීටර 800) තරගාවලියේ මූලික වටයෙන්ම තරගාවලියෙන් ඉවතට විසි විය. එම තරග ඉසව්වේ දී පාරමී නව ශ්‍රී ලංකා කනිෂ්ඨ වාර්තාවක් පිහිටුවාලන ලදි. එසේම දිලිෂි ඇයගේ තරග ඉසව්ව තුල ඇතිවූ ආබාධ තත්වය නිසා මීටර 800 කාන්තා තරග ඉසව්වේ අවසන් ස්ථානය දිනා ගනිමින් තරග ඉසව්ව නිමා කළාය.

මීටර 100 කාන්ත තරග ඉසව්වේ පැවති මූලික තරග වටයේ දී 5 වන ස්ථානය දිනා ගත් අමාෂා ද සිල්වා අවසන් පූර්ව තරග වටය සඳහා සුදුසුකම් ලබා ගත්ත ද ඉන් ඔබ්බට ගොස් අවසන් තරගයේ අසුනක් වෙන්කර ගැනීමට අමාෂා අපොස්සත් වූවාය. ශ්‍රී ලංකා කනිෂ්ඨ මලල ක්‍රීඩා වංශ කතාවේ නොමැකෙන තරුවක් වන අරුණ දර්ශන ඔහු සහභාගී වූ මීටර 800 තරග ඉසව්ව ජයග්‍රහණය කරමින් අවසන් පූර්ව වටයට පිවිසියත් එම තරග වටයෙන් අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට අරුණ හට ද අවස්ථාව නොලැබී ගියා.

අරුණ හා අමාෂා ජාත්‍යන්තරයට අභියෝගයක් වෙයි

ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩා අනාගතය, අරුණ දර්ශන හා නැගී එන කනිෂ්ඨ ධාවන රැජින අමාෂා ද සිල්වා අද (11) ෆින්ලන්තයේ Tampere හිදී IAAF ලෝක වයස අවුරුදු 20න් පහළ…

මීටර 100 කාන්තා තරග ඉසව්වේ අවසන් පූර්ව තරග වටයේ දී අමාෂා හට හිමි වූයේ අවසන් ස්ථානයයි. ඊට අමතරව කරට කර සටනක් දුන් අරුණ දර්ශන මීටර 800 තරග ඉසව්වේ අවසන් පූර්ව තරග ඉසව්වේ දී 5වන ස්ථානය දිනා ගත්තා. එසේ දස්කම් දැක්වීම ඔවුන් දෙදෙනා හටම අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට තරම් ප්‍රමාණවත් නොවීය.

මේ අනුව ශ්‍රී ලංකාවේ අවසන් පදක්කම් බලාපොරොත්තුව වී ඇත්තේ කාන්තා හා පිරිමි මීටර 400 සහාය (4X400m) දිවීමේ තරග ඉසව්වයි. එම තරග ඉසව්වේ දී යම් හෙයකින් ශ්‍රී ලංකාව පදක්කමක් වෙත ගියහොත් මෙම තරගාවලි ඉතිහාසයේ ශ්‍රී ලංකා කණ්ඩායමක් ලබා ගන්නා පළමු පදක්කම ලෙස ඉතිහාසයට එක්වෙන්නේ ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවේ ද නව යුගයක හැරවුමක් සනිටුහන් කරමිනි.

ශ්‍රී ලංකා වයස අවුරුදු 20න් පහළ කාන්තා සහාය දිවීමේ කණ්ඩායම ශ්‍රී ලංකා වේලාවෙන් අද (14) දහවල් 2.20ට ඔවුන්ගේ තරග ඉසව්ව නියෝජනය කිරීමට සූදානමින් සිටින අතර එම සුදුසුකම් ලබා ගැනීමේ තරගයේ දී පළමු ස්ථාන දෙක දිනාගතහොත් නිතරගයෙන්ම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට හැකිය. මේ සහාය දිවීමේ කණ්ඩායම මැයි අවසන් වරට පැවති  ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ දී මිනිත්තු 3:43.31ක දස්කමක් දක්වා ඇත. මේ කණ්ඩායම් සඳහා අමාෂා ද සිල්වා, දිලිෂි කුමාරසිංහ, සචිනි දිව්‍යාංජලී හා සඳුමිනි බණ්ඩාර ඇතුළත්ව ඇත.

ශ්‍රී ලංකා වයස අවුරුදු 20න් පහළ පිරිමි සහාය දිවීමේ කණ්ඩායම මේ තරග ඉසව්ව සඳහා අවතීර්ණ වන්නේ ආසියානු ශූරයන් ලෙසයි. එම නිසා පිරිමි සහාය දිවීමේ කණ්ඩායමට එම තරග ඉසව්වේ දී කුමන හෝ පදක්කමක් දිනා ගැනීමට වැඩි අවස්ථාවක් තිබෙනවාට කිසිදු සැකයක් නැත.

ශ්‍රී ලංකා බාලක 4X100 කණ්ඩායම ආසියානු කනිෂ්ඨ ශූරතාවලියේ දී රන් පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර 3:08.70ක් කාලයකින් ඉතා පහසුවෙන් එම ඉසව්ව නිමා කිරීමට ඔවුන් සමත් විය. සාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ රවිෂ්ක ඉන්ද්‍රජිත්, නාලන්ද විද්‍යාලයේ පබසර නිකු, මලියදේව විද්‍යාලයේ පසිඳු කොඩිකාර හා අරුණ දර්ශන කලාපීය ජයෙන් පසු සිය දක්ෂතාවයන් ලෝක මට්ටමට ගෙන යාමට මාන බලනු ඇත. වලල ඒ රත්නායක මාධ්‍ය මහා විද්‍යාලයේ හර්ෂ කරුණාරත්න අතිරේක ක්‍රීඩකයෙකු ලෙස කණ්ඩායමට එක්වනු ඇත.

ආසියානු කනිෂ්ඨ ශූරතාවලියේ දී ශ්‍රී ලංකා බාලිකා කණ්ඩායමට නම් ලෝකඩ පදක්කමින් සෑහීමට පත්වීමට සිදු වූ අතර ජපානය හා ඉන්දියාව පිළිවෙළින් දෙවන හා පළමු ස්ථාන දිනා ගන්නා ලදි. 3:45.16ක කාලයකින් ඉසව්ව නිමා කළ ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ෆින්ලන්තයේ දී අවසාන මහා තරගයේ ස්ථානයක් සොයනු ඇත. එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද (14) දහවල් 2.35ට පැවැත්වේ.

එම තරග ඉසව්වන් වල තරග වාර්තා ද ගෙන ඒමට ThePapare.com සූදානමින් එතෙක් රැඳී සිටින්න අප සමඟම.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<