විනිසුරුට අමතක වුන රතුකාඩ්

Super League Pre-Season 2021

295
Referee Irshad Farook
Photo credits - www.football.lk

Super League Pre-Season තරගාවලියට අදාලව Blue Eagles කණ්ඩායම සහ New Youngs කණ්ඩායම අතර පසුගිය දා පැවති තරගය තරමක් උණුසුම් මුහුණුවරක් ගත්තා. ඒ මතභේදාත්මක විනිසුරු තීරණ කීපයක් හේතුවෙන්.

එහි දී ක්‍රීඩකයෙකුට දෙවතාවක් කහ කාඩ්පතක් ලබා දීමෙන් අනතුරුව ඔහුට රතු කාඩ්පතක් නිකුත් කිරීම විනිසුරුවරයා විසින් පැහැරහැරs අතර තවත් එවැනිම සිදුවීමක් ද තරගය අතරතුර වාර්තා වුනා. එම අවස්ථාවේ දී මිනිත්තු කීපයකට පසු එය නිවැරදි කෙරුණා.

Super League Pre-Season තරගාවලියේ තරගයක් වූ මෙහි විනිසුරු ලෙස කටයුතු කළේ AFC/FIFA විනිසුරුවරයෙකු වූ ඉර්ශාඩ් ෆාරුක් මහතායි.

මෙම සිදුවීම් දෙකම සිදු වුනේ මිනිත්තු 10ක් තුලයි. 2006 වසරේ පාපන්දු ලෝක කුසලාන තරගාවලිය අතරතුරත් මෙවැනිම සිදුවීමක් වාර්තා වුනා. එහි දී විනිසුරුවරයා වූ Graham Poll විසින් ක්‍රොඒෂියා කණ්ඩායමේ Josip Simunic හට රතු කාඩ්පතක් නිකුත් කිරීමට පෙර තෙවතාවක් කහ කාඩ්පත නිකුත් කරනු ලැබුවා.

Blue Eagles කණ්ඩායමේ නෙත්ම මල්ශාන් හට මෙම තරගය අතරතුර දෙවතාවක් කහ කාඩ්පතක් නිකුත් කළ නමුත් ඔහුට දෙවන අවස්ථාවේ දී රතු කාඩ්පතක් නිකුත් කිරීමට විනිසුරුවරයා ක්‍රියා කළේ නැහැ. මිනිත්තු කීපයකට පසු ඔහුට රතු කාඩ්පතක් නිකුත් කරමින් තරගයෙන් ඉවත් කිරීමට විනිසුරුවරයා ක්‍රියා කළා.

මෙම සිදුවීමට පෙර එම කණ්ඩායමේම අමිත් කුමාර හට දෙවතාවක්ම කහ කාඩ්පතක් නිකුත් කළ අතර ඔහුව තරගයෙන් ඉවත් කිරීමට විනිසුරුවරයාට අතපසු වී තිබුණා.

තරගයේ 55 වැනි මිනිත්තුව වන විට Blue Eagles කණ්ඩායම ගෝල 1-0ක් ලෙස තරගයේ පෙරමුණ ගෙන සිටි අතර ගෝලය වාර්තා කළේ ඩී. කේ. දුමින්ද විසින්.

ඉන් අනතුරුව 59 වැනි මිනිත්තුවේ දී නෙත්ම මල්ශාන් හට පළමු කහ කාඩ්පත නිකුත් කෙරුණා.

තරගයේ 73 වැනි මිනිත්තුවේ දී Blue Eagles කණ්ඩායමේ අමිත් කුමාර හට කහ කාඩ්පතක් නිකුත් කෙරුණු අතර එහි දී ලැබුණු දඬුවම් පහර සාර්ථක කර ගත් New Youngs කණ්ඩායමේ තරිඳු ධනුශ්ක ගෝල තත්ත්වය 1-1ක් බවට පත් කිරීමට සමත් වුනා.

තවත් පාපන්දු පුවත්:

තරගයේ 80 වැනි මිනිත්තුවේ දී ලක්ශාන් ධනංජය හට අනතුරුදායක වැළැක්වීමක් සිදු කිරීම නිසා අමිත් කුමාර හට දෙවන කහ කාඩ්පත ද නිකුත් කෙරුණා. ඒ අනුව ඔහු තරගයෙන් ඉවත් කළ යුතු වුවත් විනිසුරුවරයාට එය අතපසු වී තිබුණා.

තරගයේ 84 වැනි මිනිත්තුවේ දී Blue Eagles කණ්ඩායමේ නෙත්ම මල්ශාන් සහ ලක්ශාන් ධනංජය හට කහ කාඩ්පතක් නිකුත් කිරීමට විනිසුරුවරයා කටයුතු කළා. එහි දී ද එය නෙත්ම මල්ශාන්ගේ දෙවන කහ කාඩ්පත ලෙස හඳුනා ගැනීමට විනිසුරු ඉර්ශාඩ් අසමත් වුනා.

කෙසේ වෙතත් එම අවස්ථාවේ දී සහය විනිසුරුවන් ලෙස කටයුතු කළ ඉරාන් උදයකාන්ත විසින් ඒ බව ප්‍රධාන විනිසුරුවරයා වූ ඉර්ශාඩ් දැනුවත් කර තිබුණා. ඒ අනුව මිනිත්තු කීපයකට පසුව නෙත්ම මල්ශාන් හට රතු කාඩ්පතක් නිකුත් කළ අතර තරගයේ සෙසු කාලය සඳහා ක්‍රීඩකයන් 10 දෙනෙකුගෙන් ක්‍රීඩා කිරීමට Blue Eagles කණ්ඩායමට සිදු වුනා.

ශ්‍රී ලංකාව තුල සිටින අත්දැකීම් බහුල සහ ජ්‍යේෂ්ඨ විනිසුරුවරයෙකු වන ඉර්ශාඩ් ෆාරුක් මහතා මෙරට ප්‍රධාන පෙළේ විනිසුරුවන් සිව්දෙනාගෙක් එක් අයෙක්. එවන් විනිසුරුවරයෙක් තුළින් මෙවැනි අතපසුවීම් වාර්තා විම කැපීපෙනෙන සිදුවීමක් වුනා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ මාධ්‍ය අංශය විසින් මාධ්‍ය වෙත නිකුත් කෙරුණු නිල තරග වාර්තාවේ මෙම සිදුවීම සඳහන් නොකිරීමට ක්‍රියා කර තිබෙනවා.

පාපන්දු වැනි ක්‍රීඩාවක් තුල මෙවැනි අතපසු වීම් බහුලව වාර්තා වෙනවා. නමුත් එවැනි සිදුවීම් නිවැරදි සන්නිවේදනයන් මඟින් වළක්වා ගැනීමේ හැකියාව ද පවතිනවා. ප්‍රධාන විනිසුරුවරයාට යම් අතපසුවීමක් සිදුවන අවස්ථාවක දී සහය විනිසුරුවරයන් සහ සිව්වැනි විනිසුරුවරයා අතර නිවැරදි සන්නිවේදනයක් පැවතීම මඟින් මෙවැනි සිදුවීම් පහසුවෙන් වළක්වාගත හැකියි.

වත්මන් පාපන්දු ක්‍රීඩාව තුල පවතින තාක්ෂණික ක්‍රම උපයෝගී කරගනිමින් විනිසුරුවන් අතර නිවැරදි සන්නිවේදනයක් පවත්වා ගැනීම එතරම් අභියෝගාත්මක කරුණක් වන්නේ නැහැ.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් Super League වැනි අර්ධ වෘත්තීමය පාපන්දු තරගාවලියක් සංවිධානය කරන අවස්ථාවක දී විනිසුරුවරුන් හට නිවැරදි තීරණ ලබා දීම සඳහා අවශ්‍ය වන මූලික අවශ්‍යතා සපුරා දිය යුතු නොවන්නේද?

මෙම වාර්තාව පළවන අවස්ථාව වන විටත් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් මෙම සිදුවීම සම්බන්ධයෙන් කිසිදු නිල ප්‍රකාශයක් සිදුකර නැහැ.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<