පවුලේ සැමට සහභාගි විය හැකි “පාපන්දු සිකුරාදා” ආරම්භ වේ

315
Football Friday Press Conference

ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව නිර්මාණය කළ “ජයගමු” වැඩසටහනේ මීළඟ අදියර ලෙස ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති “පාපන්දු සිකුරාදා” වැඩසටහන පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද (17) ක්‍රීඩා අමාත්‍යාංශයේ දී පැවැත්වුණා.

එම මාධ්‍ය හමුව සඳහා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා, පාපන්දු සම්මේලනයෙ ලේකම් ජස්වර් උමාර් මහතා, පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතා ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

කොරෝනා වසංගතය නිසාවෙන් පසුගිය මාස කිහිපය පුරාවටම නිවෙස්වලට වී කාලය ගත කිරීමට සිදු වූ මෙරට ජනතාවගේ සෞඛ්‍ය නගා සිටුවීමට අවශ්‍ය ක්‍රීඩා හා ව්‍යායම්වලට ඔවුන් යොමු කිරීම උදෙසා මෙම වැඩසටහන නිර්මාණය කර ඇත.

ක්‍රීඩා අමාත්‍යවරයාගේ සංකල්පයකට අනුව නිර්මාණය කළ එම “ජයගමු” වැඩසටහන මගින් මෙරට ජනතාව හට අදාළ සෞඛ්‍යාරක්ෂිත නීතීන්ට අනුගමනය වෙමින් ව්‍යායමවල නිරත වීමේ හැකියාව ලබා දී ඇත.

එහි මුල්ම වැඩසටහන ලෙස “ඉරිදා පාපැදි” වැඩසටහන ක්‍රියාත්මක වූ අතර දෙවන වැඩසටහන වන “පාපන්දු සිකුරාදා” වැඩ සටහන එළඹෙන සිකුරාදා (19) සවස 6ට කොළඹ තුරඟ තරග පිටියේ දී ආරම්භ වීමට නියමිතව ඇත.

මෙම වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියේ,

“මෙරට ජනතාවගේ සෞඛ්‍ය ඉහළ නැංවීමට වැඩපිළිවෙළක් සෑම සතිඅන්තයකම පැවැත්වීම අපි ආරම්භ කළා. එහි මුල් පියවර විදියට අපි “Cycle Sunday” විශේෂ මංතීරුවක් පාපැදි සඳහා වෙන් කරලා අපි කිඹුලාවල ඉඳන් කොළඹට ආවා. මම හිතන්නේ ඉතාමත් සාර්ථකව සති තුනක් එය මේ වන විට ක්‍රියාත්මක වුනා.

ඒ එක්කම ඒකේ දෙවැනි අදියර විදියට පාපන්දු ක්‍රීඩාව ප්‍රචලිත කිරීමත්, පාපන්දු ක්‍රීඩාවට අවශ්‍ය කුසලතාවයන් නැංවීම සඳහාත්, ඒ වගේම අනිත් පැත්තෙන් සෞඛ්‍ය සම්පන්න සහ ක්‍රියාශීලී සමාජයක් බිහි කිරීම සඳහා දෙවන අදියර විදියට සිකුරාදා දිනවල “පාපන්දු සිකුරාදා” යන සංකල්පය හරහා අපි බලාපොරොත්තු වෙනවා පාපන්දු ක්‍රීඩාව ප්‍රවර්ධනය කරන්න.

ඒ එක්කම අපි ආරාධනා කරනවා ලංකාවේ පාපන්දු ක්‍රීඩාවට ආදරේ කරන වගේම ක්‍රීඩාවට ආදරේ කරන සියලූම දෙනාට තමන් ජිවත් වෙන ප්‍රදේශයේ තමන් ක්‍රීඩා කරන පිට්ටනියේ පාපන්දු ක්‍රීඩාව කිරීම සඳහා සිකුරාදා දිනවල තමන්ගේ පිට්ටනිවලට ඇවිල්ලා ඊළඟ පරම්පරාවට පාපන්දු ක්‍රීඩාව ප්‍රවර්ධනයටත්, ක්‍රියාශීලී සමාජයක් බිහි කිරීමටත් අපත් සමඟ එක්වෙන්න කියලා.”

මීට අමතරව කොරෝනා වසංගත තත්වය යටතේ මෙම වැඩසටහන පැවැත්වෙන ආකාරය පිළිබඳව දැනුවත් කරමින් පාපන්දු සම්මේලනයේ ලේකම් ජස්වර් මහතා ප්‍රකාශ කර සිටියේ වැඩසටහන අතරතුර දී සියලූම සෞඛ්‍යාරක්ෂිත නීතින් අනුගමනය කරමින් මෙය පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි.

සහභාගි වෙන සියල්ලන් අතර එකිනෙකා ස්පර්ශ කිරීමට හෝ වැළඳ ගැනීම තහනම් කිරීම, සියලූම දෙනාහට මුඛ ආවරණ ලබා දීම, අදාළ ස්ථාන සඳහා උපකරණ විෂබීජ හරණය සිදු කිරීම වැනි කටයුතු සිදු කරන බව ද එතුමා වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.

තවත් පාපන්දු පුවත්: 

මෙම වැඩසටහන විවෘත වැඩසටහනක් වන බැවින් මෙරට ජීවත් වෙන සියලූම දෙනාහට එයට සහභාගි වීමට හැකි අතර 19 වැනි සිකුරාදා සවස 6 සිට මධ්‍යම රාත්‍රිය දක්වා එය පැවැත්වීමට සැලසුම් කර ඇත.

එමෙන්ම මෙම වැඩසටහනේ මුල් අදියර සඳහා හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් වන චමින්ද වාස්, චාමර කපුගෙදර සහ ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩකයන් රැසක් සහභාගි වීමට නියමිතව ඇත.

වැඩසටහනේ මුල් දිනය සඳහා 80කට අධික සංඛ්‍යාවක සහභාගීත්වය අපේක්ෂා කරන අතර ඔවුන් කණ්ඩායම් 8කට වෙන් කර මෙම වැඩසටහන පැවැත්වීමට සැලසුම් කර ඇත.

ශ්‍රී ලංකාව තුළ පාපන්දු ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමේ විශේෂ වැඩසටහනක් ලෙස පැවැත්වෙන මෙය ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සහ Ceylon Professional Sports Management ආයතනය හා එක්ව සංවිධානය කරනු ලබයි.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<