New Youngs, Sea Hawks තරගය සමවෙද්දී, Blue Star පහසු ජයකට

246

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් සංවිධානය කරන Super League 2021 පාපන්දු තරගාවලියේ පූර්ව තරග කාලසීමාවේ (Pre-Season) තරග ආරම්භ කරමින් අද (17) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවති තරගවලින් Red Stars FC පරාජය කරමින් ජයග්‍රහණය හිමිකර ගැනීමට Blue Star SC ක්‍රීඩකයින් සමත් වූ අතර New Youngs සහ Sea Hawks අතර තරගය සමව අවසන් විය.

Red Stars FC – Blue Star SC

පළමු අර්ධය ආරම්භයේ සිටම Red Stars කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට Blue Star ක්‍රීඩකයන් සමත් වූ නමුත් තරගයේ 13 වැනි මිනිත්තුවේ දී ගෝලයක් ලබා ගැනීමට තිබූ ආසන්නතම අවස්ථාවක් Red Stars ක්‍රීඩක ෆයිසාල් හට මග හැරුණි.

එම අවස්ථාව මගහැරීමෙන් පසු ලද පන්දුව, ඉතාමත් සාර්ථකව Red Stars ක්‍රීඩකයන් මෙන්ම ගෝල රකින්නා ද පසු කරමින් ඉදිරියට ගෙන යාමට සමත් වූ Blue Star ක්‍රීඩක ෆසාල් මුල්ම ගෝලය වාර්තා කිරීමට සමත් විය.

සිදු වූ පසුබෑමෙන් පසුව තරමක ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කිරීමට Red Stars ක්‍රීඩකයන් සමත් වූවත්, ගෝලයක් ලබා ගැනීමට ඔවුන් අසමත් වීම නිසාවෙන් Blue Star ක්‍රීඩකයන්ට වැඩි වාසි ගෙන දෙමින් පළමු අර්ධය අවසන් විය.

දෙවන අර්ධය ආරම්භයේ සිටම පළමු අර්ධයට වඩා හොඳ ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවක් Red Stars ක්‍රීඩකයන් පෙන්නුම් කළත්, තරගයේ 57 වැනි මිනිත්තුවේ දී ෆසාල් යොමු කළ පන්දුවක් සාර්ථකව දැල වෙත යොමු කරමින් තරගයේ දෙවන ගෝලය රැස් කිරීමට Blue Star ක්‍රීඩක මොහොමඩ් රිසාන් සමත් විය.

රිසාන්ගේ ගෝලයෙන් පසුව ගෝල ලබා ගැනීමට තිබූ ආසන්නතම අවස්ථා කිහිපයක් දෙපිලේම ක්‍රීඩකයන් අතින් මගහැරී යාම නිසාවෙන් තරගයේ ජය ගෝල 2-0ක් ලෙස Blue Star SC ක්‍රීඩකයන්ට හිමි විය.

අවසන් ලකුණු තත්වය: Red Stars FC 00 (00) – 02 (01) Blue Star SC

ගෝල රැස්කළ ක්‍රීඩකයින්: 

Blue Star SC: ෆසාල් 15’, මොහොමඩ් රිසාන් 57’

තවත් පාපන්දු පුවත්:


New Youngs FC- Sea Hawks FC

දිනයේ දෙවන තරගය ලෙස පැවති මෙම තරගය ආරම්භයේ සිටම දෙපිලේම ක්‍රීඩකයන් ඉතාමත් ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කරන්නට වූ අතර තරගයේ 24 වැනි මිනිත්තුවේ ගෝලයක් ලබා ගැනීමට තිබූ ඉතාමත් ආසන්න අවස්ථාවක් New Youngs ක්‍රීඩකයන් හට මග හැරුණි.

තරගයේ 39 වැනි මිනිත්තුවේ දී චතුර කාවින්ද යොමු කළ පන්දුවක් සාර්ථකව දැල වෙතට යොමු කිරීමෙන් සිය කණ්ඩායම වෙනුවෙන් මුල්ම ගෝලය රැස් කිරීමට Sea Hawks ක්‍රීඩක ධනුෂ්ක මදුෂංක සමත් වූ අතර පළමු අර්ධයේ අමතර මිනිත්තු කිහිපයේ දී නැවත වරක් ආසන්නතම අවස්ථාවක් New Youngs ක්‍රීඩකයන් අහිමි කරගැනීම නිසාවෙන් පළමු අර්ධය Sea Hawks ක්‍රීඩකයන්ට වාසි දෙමින් අවසන් විය.

පසුබෑමට ලක්වූ පළමු අර්ධයෙන් පසුව පිටියට පිවිසි New Youngs ක්‍රීඩකයන් ප්‍රතිවාදීන්ට දැඩි අභියෝගයක් එල්ල කිරීමට සමත් වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස තරගයේ 65 වැනි මිනිත්තුවේ දී සිය කණ්ඩායම වෙනුවෙන් මුල්ම ගෝලය රැස්කරමින් ගෝල තත්වය සම කිරීමට New Youngs ක්‍රීඩක චරිත් සමත් විය.

එම ගෝලයෙන් පසු තරගයේ අවසාන මිනිත්තු කිහිපය වන තෙක් කිසිදු අවස්ථාවක් සාර්ථකව අවසන් කිරීමට දෙපිලේම ක්‍රීඩකයන් හට නොහැකි වූ අතර තරගයේ අවසාන අතිරේක කාලයේ දී Sea Hawks ක්‍රීඩක අසේල මධුෂාන් විසින් ගෝල රාමුවට යොමු කළ පන්දුවක් ගෝල සීමාව අසල දී New Youngs පසුපෙළ ක්‍රීඩකයෙකු දක්ෂ ලෙස නැවැත්වීම නිසාවෙන් තරගය සමව අවසන් විය.

අවසන් ලකුණු තත්වය: Sea Hawks FC 01 (01) – 01 (00) New Youngs FC

ගෝල රැස්කළ ක්‍රීඩකයින්: 

Sea Hawks FC: ධනුෂ්ක මධුෂංක 39’

New Youngs FC: චරිත් 65’

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<