Super League තරගාවලියේ වැඩ කටයුතු ඇරඹෙයි

334
Super League Pre Season Media Conference 2021

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් සංවිධානය කරන නවතම පාපන්දු තරගාවලිය වන ‘Super League 2021’ තරගාවලිය පිළිබඳව දැනුවත් කිරීමට සහ එහි කණ්ඩායම් කාණ්ඩ ගත කිරීමට අදාළ කුසපත් ඇදීම සඳහා මාධ්‍ය සාකච්ඡාවක් අද (10) දින ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේ දී පැවැත්විනි. 

එම අවස්ථාව සඳහා පාපන්දු සම්මේලනයේ නිලධාරීන්, තරගාවලියට සහභාගී වන කණ්ඩායම්වල ක්‍රීඩකයන් ඇතුළු නිලධාරීන් සහ මාධ්‍යවේදීන් රැසක් පැමිණ සිටියහ. 

සාකච්ඡාව ආරම්භ කරමින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතා තරගාවලිය පිළිබඳව කෙටි හැඳින්වීමක් සිදුකිරීමෙන් අනතුරුව මලල ක්‍රීඩා සංගමයේ ලේකම් Jaswar Umaru මහතා විසින් තරගාවලියේ සැකැස්ම සහ පැවැත්වෙන ආකාරය පිළිබඳව පැහැදිලි කරන ලදි. 

එහිදී එතුමා විසින් මෙම මස 17 වනදා තරගාවලියේ පූර්ව තරග කාලසීමාව (Pre Season) ආරම්භ වන බව තහවුරු කරන ලදි. 

එමෙන්ම තරගාවලිය සඳහා සහභාගී වන ක්‍රීඩකයන්, නිලධාරීන් ඇතුළු සියල්ල පූර්ව තරග කාලසීමාව ආරම්භ වීමට පෙර සාමාන්‍ය PCR පරීක්ෂාවකට ලක් කිරීමට නියමිත බවත් ඉන්පසුව සෑම තරගයකම පැය පහකට පෙර ඔවුන් සියල්ල ඇන්ටිජන් පරීක්ෂාවකට ලක් කිරීමට සූදානම් බව ද එතුමා ප්‍රකාශ කරන ලදි. 

ඉන්පසුව තරගාවලියට සහභාගී වන කණ්ඩායම් හඳුන්වාදීම සිදුකෙරුනු අතර එම කටයුතු වලින් පසුව තරගාවලියේ පූර්ව කාලසීමාව (Pre Season) කණ්ඩායම් කාණ්ඩ ගත කිරීම සඳහා කුසපත් ඇදීම සිදුකෙරුනි. 

එහිදී A කාණ්ඩය සඳහා Renown SC, Ratnam SC, Blue Star SC, Defenders FC සහ Red Stars FC යන කණ්ඩායම් තේරී පත් වූ අතර B කාණ්ඩය සඳහා Up Country Lions SC, Sea Hawks FC, New Youngs FC, Colombo FC සහ Blue Eagles SC යන කණ්ඩායම් තේරී පත්විය. 

එම කණ්ඩායම් තම කාණ්ඩයේ සියලුම කණ්ඩායම් සමඟින් තරග වැදීමට නියමිතව ඇති අතර පූර්ව තරග කාලසීමාව පෙබරවාරි මස 17 වනදා සිට මාර්තු මස 10 වනදා දක්වා පැවැත්වීමට නියමිතව ඇත. 

තවත් පාපන්දු පුවත් කියවන්න

පූර්ව තරග කාලසීමාවෙන් පසු ප්‍රධාන තරගාවලිය අප්‍රේල් මස 17 වනදා සිට ජූලි මස 30 වනදා දක්වා පැවැත්වීමට නියමිත අතර තරගාවලියේ සියලුම තරග කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සැලසුම් කර ඇත. 

එමෙන්ම තරගාවලිය නැරඹීමට ප්‍රේක්ෂකයන්හට අවසර හිමි නොවන අතර සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ සෞඛ්‍යාරක්ෂිත නීතීන් අනුගමනය කරමින් තරගාවලිය පැවැත්වීමට කටයුතු සූදානම් කරමින් ඇත. 

මෙම තරගාවලිය සඳහා සහභාගී වීමට අවස්ථාව හිමි වන්නේ ආසියානු පාපන්දු සම්මේලනයේ ලියාපදිංචි වූ පාපන්දු කණ්ඩායම් වලට පමණක් වීම ද විශේෂත්වයකි. 

ප්‍රධාන පෙළේ දේශීය ක්‍රීඩකයන් මෙන්ම විදෙස් ක්‍රීඩකයන් රැසක්ද සහභාගී වීමට නියමිතව ඇති මෙම තරගාවලිය මෙරට පාපන්දු ක්‍රීඩාව වැටී තිබෙන අගාධයෙන් ගොඩ ඒමට විශාල අත්වැලක් වනු ඇත. 

කුසපත් ඇදීමෙන් පසු කණ්ඩායම් කාණ්ඩ ගත කෙරුනු ආකාරය, 

A කාණ්ඩය   B කාණ්ඩය 
Renown SC  Up Country Lions SC 
Ratnam SC  Sea Hawks FC 
Blue Star SC  New Youngs FC 
Defenders FC  Colombo FC 
Red Stars FC  Blue Eagles SC 

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්නපාපන්දු ක්‍රීඩා පිටුවට <<