Babar Azamගෙන් වාර්තාගත ඉනිමක්

5195

ඕස්ට්‍රේලියාව සමඟ පැවති දෙවැනි ටෙස්ට් තරගයේ අවසන් ඉනිමේ දියත් කළ සටන්කාමී ඉනිම නිසාවෙන් ටෙස්ට් තරගයක සිව්වැනි ඉනිමේ වාර්තා වූ දීර්ඝතම ඉනිම් අතරේ දෙවැනි තැනට පැමිණීමට පාකිස්තාන ක්‍රීඩක Babar Azamට හැකිව තිබෙනවා.

සිය කණ්ඩායම පරාජයෙන් ගලවා ගැනීමට අගනා ඉනිමක් ක්‍රීඩා කළ ඔහු පන්දු 425ක් පුරා පැය 10ක් කඩුල්ලේ රැඳී සිටිමින් ලකුණු 196ක් ලබා ගැනීමට සමත් වීමෙන් පසුව ද්විත්ව ශතකය පෙනෙන මානයේ දී අවාසනාවන්ත ලෙස දැවී ගියා.

එම ඉනිම සමඟ ඔහු ටෙස්ට් තරගයක සිව්වැනි ඉනිමක වැඩිම වේලාවක් කඩුල්ලේ රැඳී සිටි පිතිකරුවන් අතර දෙවැනි තැනට පැමිණි අතර එම ඉනිම දෙවැනි වූයේ ඔහුට වඩා මිනිත්තු 34ක් කඩුල්ලේ රැඳී සිටිමින් එංගලන්ත ක්‍රීඩක Michael Atherton වාර්තා කළ ඉනිමට පමණි.

එමෙන්ම ඔහු එම වාර්තා කළ ලකුණු 196ක් සමඟ පාකිස්තානය වෙනුවෙන් සිව්වැනි ඉනිමක වැඩිම ලකුණු (171) ලබා ගනිමින් Younis Khan තබා තිබූ වාර්තාව තමන් සතු කර ගත් අතර ටෙස්ට් නායකයෙකු සිව්වැනි ඉනිමේ වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව එය වීම ද විශේෂත්වයක්.

මෙම විශිෂ්ට ඉනිම පිළිබඳව අදහස් දක්වමින් හිටපු පාකිස්තාන නායක Misbah-ul-Haq ප්‍රකාශ කළේ,

තරගය ඒ වෙලාවේ තිබ්බ විදිය සහ ඔහුට තිබ්බ පීඩනය එක්ක සලකා බලද්දී මේක ඔහු (Babar Azam) වාර්තා කළ හොඳම ඉනිමයි. එය විශිෂ්ට තරගයක් බේරාගැනීමේ ඉනිමක් වගේම එය ටෙස්ට් වාර්තාවල විශාල කාලයක් රැඳී තියෙයි. මම කවදාවත් ඔහුගේ දක්ෂතා ගැන ප්‍රශ්න කරලා නැහැ වගේම ඔහුගේ තාක්ෂණය ඉතා විශිෂ්ටයි” .

Babar Azam වත්මන් එක්දින සහ විස්සයි විස්ස පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ අංක 01 ස්ථානයේ පසුවන අතර ඔහුට ටෙස්ට් පිතිකරුවන් අතර හිමිව ඇත්තේ අටවැනි ස්ථානයයි.

පාකිස්තානය සහ ඕස්ට්‍රේලියාව අතර පැවති දෙවැනි ටෙස්ට් තරගයේ දී පාකිස්තානයට සිව්වැනි ඉනිම සඳහා ලකුණු 506ක ඉලක්කයක් ලබා දෙමින් තරගයේ වැඩි වාසිය ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් ලබා සිටියත් Babar Azam (196), Abdullah Shafique (96) සහ Mohammad Rizwan (104*) දියත් කළ සටන්කාමී ඉනිම් නිසාවෙන් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුනා.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<