PCB සභාපතිවරයාගේ ප්‍රකාශයට හිටපු ක්‍රීඩකයෙකු දෙහි කපයි!

453

පසුගිය දා ජය පරාජයෙන් තොරව අවසන් වූ පාකිස්තාන-ඕස්ට්‍රේලියා පළමු ටෙස්ට් තරගය වෙනුවෙන් සකසා තිබූ තණතීරුව සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහට ලක්වෙමින් තිබෙන්නේ ඒ පිළිබඳව   අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල බලධාරීන්ගේ අවධානය යොමු කරවමිනි.

රාවල්පින්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ මෙතෙක් පවත්වා ඇති ටෙස්ට් තරග සියල්ලන්ගෙන්ම තරග වැඩි ප්‍රමාණයක් නිමාව දැක තිබෙන්නේ කෙසේ හෝ එක් කණ්ඩායමකට ජයග්‍රහණය උරුම කරදෙමිනි.

නමුත් මෙම තරගය ක්‍රියාත්මක වූ දින පහ පුරාවටම කණ්ඩායම් දෙකටම සම්පූර්ණයෙන්ම  ක්‍රීඩා කර අවසන් කිරීමට හැකි වූයේ එක් ඉනිම බැගින් පමණක් වූ අතර තුන්වැනි දිනය පුරාවටම එකදු කඩුල්ලක් හෝ බිඳ නොවැටීම මෙහි දී වඩාත් කැපී පෙනුණි.

ඒ අනුව තණතීරුව සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන්ගෙන් නැඟෙන චෝදනාවන්ට ප්‍රතිචාරයක් වශයෙන් පාකිස්තාන ක්‍රිකට් ආයතන සභාපති Ramiz Raja මහතා නිල ප්‍රකාශයක් නිකුත් කරමින් ඊයේ (10) දිනයේ දී අවධාරණය කොට තිබුණේ පන්දුව වේගයෙන් ඉපිලෙන ඕස්ට්‍රේලියානුවන්ට වාසිදායක තණතීරුවක් නිර්මාණය කිරීමට තමන්ට නොහැකි බවයි.

“මට ප්‍රේක්ෂකයින්ගේ බලාපොරොත්තු සුන්වීම සම්බන්ධයෙන් හොඳින් තේරුම් ගැනීමට පුළුවනි. අපි කවුරුත් මේ තරගයේ ප්‍රතිඵලයක් දකින්න ආසාවෙන් පසු වුනා. නමුත් මෙය එක් තරගයක් පමණයි. තරගාවලියේ තවත් තරග දෙකක් ඉතිරි වෙලා තියෙනවා. මෙතන දී පැහැදිලිව කියව යුතුයි අපි සත්කාරක කණ්ඩායම විදියට තණතීරු සකස් කරන්නේ අපේ ශක්තීන් සහ දුර්වලතා මොනවා ද කියන එක ගැන හඳුනා ගෙන. ඉතින් අපි සූදානම් නැහැ බන්දේසියක තබලා ඕස්ට්‍රේලියානුවන්ට සුදුසු තණතීරුවක් නිර්මාණය කරලා ඔවුන්ට වැඩි වාසි අත්කරලා දෙන්න.”

Ramiz Rajaගේ මෙම ප්‍රකාශයත් සමඟ ක්‍රිකට් ප්‍රජාව ඊට ධනාත්මක මෙන්ම ඍණාත්මක ප්‍රතිචාර රැසක් දක්වා තිබෙන අයුරු දැකගන්නට ලැබුණි. හිටපු පාකිස්තාන පා දඟපන්දු යවන ක්‍රීඩක Danish Kaneria ඍජුව තම ඇඟිල්ල Ramiz Raja වෙත දිගු කරමින් අවධාරණය කොට සිටියේ ඔහු බොරු ප්‍රකාශ ලබා දෙමින් ප්‍රේක්ෂකයින් රවටමින් සිටින බව සඳහන් කරමිනි.

“පාකිස්තාන ක්‍රිකට් සභාපතිවරයා අද සිදු කළ ප්‍රකාශය නම් හාස්‍යජනකයි. ඔහු තනිකරම කරලා තියෙන්නේ ප්‍රේක්ෂකයින් නොමඟ යැවීමක්. කමක් නැහැ, තමන්ගේ පුතාගේ විවාහ මංගල්‍යය උත්සවය වෙනුවෙන් කැප වීම ඕනෑම පියෙක් සිදු කළ යුතුයි. නමුත් ඔහු වගකිව යුතු නිලධාරියෙකු විදියට පෞද්ගලික කරුණු කාරණාවලට වගේම ඔහුගේ රජකාරි කටයුතු සඳහා ද ප්‍රමුඛ ස්ථානය ලබා දිය යුතුයි.”

“ඕස්ට්‍රේලියානු කණ්ඩායමක් පාකිස්තාන තරග සංචාරයක නිරත වෙන්නේ වසර ගණනාවකට පසුව. ඉතින් මේ වගේ තණතීරු සැකසීම නිසා පාකිස්තානය ක්‍රිකට් ක්‍රීඩාවටත් එය අනිසි විදියට බලපෑ හැකි බවට පෙනෙන්න තිබෙනවා.”

මීට අමතරව Babar Azamගේ නායකත්වය සම්බන්ධයෙන් ද ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළ Kaneria පවසා තිබුණේ Azamගේ දුර්වල නායකත්වය නිසාවෙන් ජයග්‍රහණය කිරීමට තිබූ තරගයක් විසදුමකින් තොරව නිමාව දුටු බවයි.

“ඔහු ඇයි ඔච්චර බය ක්‍රීඩකයින්ගේ සේවය හරි අවස්ථාවෙ දී ලබා ගන්න. ඔහුට කරන්න තිබුණේ ආක්‍රමණය කරන්න ඕනෑ වෙලාවට පසුගාමී විලාසයෙන් පිටිය සැකසීම නතර කරන එක. ඒ තණතීරුවේ Ramiz Raja පන්දුවට පහර දුන්නත් කඩුල්ල දවා ගන්න එක්ක හීනයක්.”

Hindustan Times ඇසුරෙනි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<