IPL අතරතුර COVID හැදුනොත් තීරණය තාක්ෂණික කමිටුවට

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022

706

2022 IPL තරගාවලියට නව වෙනස්කම් රැසක් එකතු කර තිබෙනවා. COVID වයිරසය නිසා යම්කිසි කණ්ඩායමකට ක්‍රීඩකයින් 11 දෙනෙකු ක්‍රීඩා කරවන්නට නොහැකි වුවහොත් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව නීතියක් ද එම වෙනස්කම් අතරට ඇතුළත් කර තිබෙනවා.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පවසා සිටියේ එම තරග පැවැත්වීමට නැවත දිනයක් වෙන් කිරීමට අපහසු අතර ඒ පිළිබඳව තීරණයක් ගැනීම IPL තාක්ෂණික කමිටුවට භාර දෙන බවයි.

“COVID වයිරසය නිසා යම්කිසි කණ්ඩායමකට තරගයක් ක්‍රීඩා කරන්නට ක්‍රීඩකයින් 12 දෙනෙක් සහභාගී කරවීමට නොහැකි නම් (ක්‍රීඩකයින් 7 දෙනෙකු ඉන්දියානු ජාතිකයින් විය යුතුයි. එක් ක්‍රීඩකයෙක් අතිරේක ක්‍රීඩකයින් විය යුතුයි.) ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය එම තරගය තරගාවලිය අවසානයේ පවත්වන්නට උත්සහ කළ යුතුයි. එසේ කරන්නට නොහැකි වුවහොත් එම තරගය පිළිබඳව තීරණය IPL තාක්ෂණික කමිටුවට භාරයි. ඔවුන්ගේ තීරණය අවසන් තීරණයයි.”

මේ පිළිබඳ මීට පෙර නීතිය වුනේ යම්කිසි කණ්ඩායමට ක්‍රීඩා කරන්නට නොහැකි වුවහොත් ප්‍රතිවාදීන්ට තරගයේ ජයග්‍රහණය හා ප්‍රසාද ලකුණු 2 බැගින් හිමි වීමයි.

විනිසුරු තීරණ නැවත විමසීම (DRS) පිළිබඳව ද නව වෙනස්කමක් සිදු කර තිබෙනවා. ඒ අනුව එක් කණ්ඩායමකට එක් ඉනිමකට හිමිවන විනිසුරු තීරණ නැවත විමසීමේ අවස්ථා ගණන අවස්ථා දෙකක් දක්වා ඉහළ දමා තිබෙනවා.

එමෙන්ම Marylebone ක්‍රිකට් ක්‍රීඩා සමාජය මෑතක දී වෙනස් කළ උඩ පන්දුවක් අතරතුර දී පිතිකරුවන් මාරු වුනත් නවක පිතිකරුවා පන්දුවට පහර දිය යුතුයි යන නීතියත් මෙවර IPL තරගාවලියේ දී අනුගමනය කෙරෙනවා.

අවසන් මහා තරග ජය පරාජයෙන් තොරව අවසන් වී පවතින තත්වයන් යටතේ සුපිරි පන්දුවාරයක් හෝ, සුපිරි පන්දුවාර කිහිපයක් පැවැත්වීමට නොහැකි නම් ලීග් අදියරේ දී ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම සිටි කණ්ඩායමට තරගයේ ජය හිමි වෙනවා”, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන් වුනා.

තරගාවලියේ ලීග් අදියර මුම්බායි හා පූනේ හිදී පැවැත්වීමට නියමිතයි. අවසන් මහා තරග බොහෝ විට Ahmedabad හිදී පැවැත්වීමට ඉඩ තිබෙන අතර තරගාවලිය එළඹෙන 26 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

Cricbuzz ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<