විජයබා සහ කටාන, නාත්තන්ඩිය, හලාවත එක්සත් අවසන් සටනට

412
  • Vijayaba SC - U22 Men's (2017 Dialog President's Gold Cup)

2017 ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ පිරිමි විවෘත තරග අංශයේ අවසන් මහා තරගය කටාන එක්සත් සහ නාත්තණ්ඩිය එක්සත් කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිත අතර එහි වයස අවුරුදු 22න් පහළ අවසන් මහා තරගය විජයබා ක්‍රීඩා සමාජය සහ හලාවත එක්සත් කණ්ඩායම් අතර පැවැත්වෙනු ඇත.

රන් කුසලානයේ දිස්ත්‍රික් ශූරයෝ කරළියට

ඩයලොග් ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ ජාතික මට්ටමේ තරග සඳහා දිස්ත්‍රික්ක..

ශ්‍රී ලංකා වොලිබෝල් සංගමය මඟින් සංවිධානය කරනු ලබන මෙම ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය දිවයිනේ සියලුම ප්‍රදේශ ආවරණය කරමින් මාස 4කට අධික කාලයක් පුරා පවත්වනු ලැබීය.

ඒ අනුව මේ සඳහා ග්‍රාම සේවා වසම් 300කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් කණ්ඩායම් 2500කට සහ ක්‍රීඩකයින් 40,000කට අධික සංඛ්‍යාවක් සහභාගී වූ අතර ඒ අනුව මෙය දිවයින තුළ සංවිධානය කළ විශාගතම ක්‍රීඩා ඉසව්ව ලෙස ද හැඳින්විය හැකිය.

විවෘත – පිරිමි

පසුගිය වසරේ තරගාවලියේ ශූරතාවය දිනාගත් කටාන එක්සත් කණ්ඩායම අවසන් පූර්ව වටයේ දී ගිය වසරේ අනුශූරයින් බවට පත්වූ දෙබෑගම රන්තරු ක්‍රීඩා සමාජය පරාජයට පත්කරමින් මෙහි අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත් අතර අනෙක් පසින් බොරලැස්ගමුව බලරැස් ක්‍රීඩා සමාජය පරාජයට පත්කළ නාත්තණ්ඩිය එක්සත් කණ්ඩායම අවසන් මහා තරගයේ සිය ස්ථානය වෙන්කරගනු ලැබීය.

අවසන් කාණ්ඩ තරග වටයේ තරගවල දී නාත්තණ්ඩිය එක්සත් කණ්ඩායම හමුවේ කටාන එක්සත් කණ්ඩායමත්, බලරැස් ක්‍රීඩා සමාජය හමුවේ රන්තරු ක්‍රීඩා සමාජයත් පරාජයට පත්වූ අතර ඒ අනුව එහි අවසන් පූර්ව වටයේ දී එම අදාළ කණ්ඩායම් තරග වදින ප්‍රතිවාදීන් තීරණය විය.

පසුගිය වසරේ තරගාවලියේ අවසන් මහා තරගය කටාන එක්සත් කණ්ඩායම ලකුණු 25-20, 25-22 සහ 25-18ක් වශයෙන් පහසුවෙන් ජයග්‍රහණය කිරීමට සමත් වුවත් මෙවර අවසන් පූර්ව තරගයේ දී ඔවුන්ට දැඩි අභියෝගයකට මුහුණ දීමට සිදු විය. ඒ අනුව ප්‍රතිවාදී රන්තරු ක්‍රීඩා සමාජය පළමු තරග වටය ලකුණු 22-25ක් වශයෙන් ජයග්‍රහණය කරනු ලැබූ නමුත් අනතුරුව තරගයට අවතීර්ණ වූ කටාන එක්සත් කණ්ඩායම ඊළඟ තරග වට දෙක ලකුණු 25-23 හා 25-20ක් වශයෙන් ජයග්‍රහණය කරමින් තරගයේ ඉදිරියට පැමිණෙන්නට සමත් විය.

තරගයේ සිව්වැනි තරග වටය ඉතා උණුසුම් මුහුණු වරක් ගත් අතර එය ලකුණු 25-27ක් වශයෙන් ජයග්‍රහණය කළ රන්තරු ක්‍රීඩා සමාජය තරගයේ තීරණය පස්වන සහ අවසන් තරග වටයට රැගෙන යාමට සමත් විය. කෙසේ නමුත් කටාන එක්සත් කණ්ඩායම එම තරග වටය ලකුණු 15-09ක් ලෙස පහසුවෙන් ජයග්‍රහණය කරමින් තරගයේ ජයග්‍රහණය කරමින් තරගයේ ජයග්‍රහණය ඔවුන් සතුකර ගැනීමට සමත් විය.

එහි දී පැවති අනෙක් අවසන් පූර්ව තරගයේ දී ‘Balares SC’ කණ්ඩායම එතරම් අභියෝගයකින් තොරව පරාජයට පත්කරමින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නට නාත්තන්ඩිය එක්සත් කණ්ඩායම සමත් විය. ඒ අනුව ලකුණු 25-18, 25-22 හා 25-15ක් වශයෙන් තරග වට 3-0ක් ලෙස නාත්තන්ඩිය එක්සත් කණ්ඩායම එම තරගයේ ජයග්‍රහණය හිමි කර ගන්නා ලදි.

‘Balares SC’ කණ්ඩායම එහි දී රන්තරු ක්‍රීඩා සමාජය ලබා දුන් ‘walk-over’ අවස්ථාවක් හරහා 3 වන ස්ථානය දිනා ගන්නා ලදි.

වයස අවුරුදු 22න් පහළ – පිරිමි

මෙහි අවසන් පූර්ව වටයේ දී පසුගිය වසරේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබාගත් රුවන්වැල්ල රාජසිංහ ක්‍රීඩා සමාජය සහ සීදූව දවිසමර ක්‍රීඩා සමාජය හමුවේ පිළිවෙළින් හුංගම විජයබා ක්‍රීඩා සමාජය සහ හලාවත එක්සත් කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කර ගනිමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

එහි දී විජයබා ක්‍රීඩා සමාජය සහ රාජසිංහ ක්‍රීඩා සමාජය අතර පැවති අවසන් පූර්ව තරගයේ පළමු සහ දෙවන තරග වට ලකුණු 25-23ක් හා 25-21ක් වශයෙන් ජයග්‍රහණය කිරීමට විජයබා කණ්ඩායම සමත් වුවත් එහි තෙවන තරග වටය ලකුණු 19-25ක් වශයෙන් ජයග්‍රහණය කිරීමට සමත් වූයේ රාජසිංහ ක්‍රීඩා සමාජය යි. කෙසේ නමුත් සිව්වන තරග වටය ලකුණු 25-19ක් ලෙස ජයග්‍රහණය කළ විජයබා ක්‍රීඩා සමාජය තරග වට 3/1ක් ලෙස එම තරගයේ ජයග්‍රහණය තහවුරු කර ගැනීමට සමත් විය.

හලාවත එක්සත් සහ පසුගිය වසරේ ශූරතාවය දිනාගත් දවිසමර ක්‍රීඩා සමාජය අතර පැවති අනෙක් අවසන් පූර්ව තරගයේ දී පළමු තරග වට 2 අවසානයේ තරග වට 0/2ක් ලෙස පසුපසින් සිටි හලාවත එක්සත් කණ්ඩායම පසුව තරගයට අවතීර්ණ වෙමින් තරග වට 3/2ක් ලෙස එහි ජයග්‍රහණය තහවුරු කර ගැනීමට සමත් විය.  

ඒ අනුව තරගයේ පළමු තරග වට දෙක ලකුණු 23-25ක් හා 21-25ක් වශයෙන් ජයග්‍රහණය කිරීමට සමත් වූයේ දවිසමර ක්‍රීඩා සමාජය යි. තරගයේ ඊළඟ තරග වටය ද ජයග්‍රහණය කරමින් තරගයේ ජයග්‍රහණය ඔවුන් සතුවනු ඇති බවට දිස්වුවත් ඔවුන්ගේ ප්‍රබල ක්‍රීඩකයෙක් එහි දී ආබාධයකට ලක්වීම නිසා තරගයේ ප්‍රතිඵලය සම්පූර්ණයෙන්ම වෙනස් විය. ඒ අනුව තරගයේ ඉතිරි තරග වට තුන 25-21ක්, 25-19ක් හා 15-11ක් වශයෙන් ජයග්‍රහණය කරමින් තරගයේ ජයග්‍රහණය තහවුරු කර ගන්නට හලාවත එක්සත් කණ්ඩායම සමත් විය.

එහි දී 3 වන ස්ථානය රාජසිංහ ක්‍රීඩා සමාජය ලබා දුන් ‘walk-over’ අවස්ථාවක් හරහා දිනා ගැනීමට දවිසමර ක්‍රීඩා සමාජය සමත් විය.

දශක 2කටත් අධික ඉතිහාසයකට උරුමකම් කියන මෙම ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස අඛණ්ඩව 12 වන වසරටත් කටයුතු කරන්නේ ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව නඟා සිටුවීමට විශාල දායකත්වයක් ලබා දෙන දිවයිනේ ප්‍රමුඛතම සන්නිවේදන සැපයුම්කරු වන ‘Dialog Axiata’ සමාගම යි.

 >> වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<