වාර්තා රැසක් බිහිවූ තරගයක වීරයා වූ මොහොමඩ් සිරාජ්

518

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේ 39 වන තරගය සඳහා අද (21) දින අබුඩාබි ක්‍රීඩාංගණයේ දී කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම තරග වැදුනි. 

මෙම තරගයේ දී ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලි ඉතිහාසය අළුතින් ලිවීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ වේගපන්දු යවන්නෙකු සමත් විය. ඒ සුවිශේෂී වාර්තාවක්ද සමඟිනි.

මෙලෙස ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ වාර්තාගත පන්දු යැවීමක නිරත වීමට සමත් වූයේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක මොහොමඩ් සිරාජ් ය. ඔහු පිට පිට නිලකුණු පන්දුවාර දෙකක් ක්‍රියාත්මක කරමින් එම දක්ෂතාවය දැක්වූ පළමු ක්‍රීඩකයා බවට පත්වීමට සමත් විය.

මොහොමඩ් සිරාජ් මීට පෙර රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම නියෝජනය කළේ කිංග්ස් ඉලෙවන් පංජාබ් කණ්ඩායම සමඟින් පැවති තරගයේ දීය. එහිදී එතරම් සාර්ථක නොවූ ඔහු පන්දුවාර 3ක් ක්‍රියාත්මක කරමින් ලකුණු 44ක් ලබාදී තිබිනි.

එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු තරග කිහිපයක අතිරේක ක්‍රීඩකයෙකු ලෙස කටයුතු කළ අතර මෙම තරගය සඳහා නම් කළ බැංගලෝර් කණ්ඩායමේ එකම වෙනස්කම වූයේ ද ඔහු කණ්ඩායමට කැඳවා තිබීමයි.

සිය පළමු පන්දුවාර දෙක තුළදී මොහොමඩ් සිරාජ් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ කඩුලු 3ක් දවා ගැනීමට ද සමත් විය. කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ පළමු කඩුලු 4 ලකුණු 14ක් තුළ බිඳ වැටී තිබිනි.

සිරාජ් තම පළමු පන්දුවාර දෙක තුළදී කිසිඳු ලකුණක් ලබානොදී මෙම කඩුලු 3 දවා ගැනීම විශේෂත්වයකි. මීට පෙර කිසිඳු ක්‍රීඩකයෙකු ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය තුළ නිලකුණු පන්දුවාර දෙකක් ක්‍රියාත්මක කිරීමට සමත්ව තිබුනේ නැත.

මොහොමඩ් සිරාජ්ගේ මෙම පන්දුවාර දෙක සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහට ලක්වූ අතර රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ නිල twitter ගිණුමේ ද ඒ බව සටහන්ව තිබිනි.

“ඔහු දැනට පන්දු 12ක් යවා තිබෙනවා. කඩුලු 3ක් දවාගෙන තිබෙනවා. ඒත් තවමත් ඔහු කිසිම ලකුණක් ලබා දුන්නේ නැහැ.”  

තවත් ක්‍රිකට් පුවත් කියවන්න: 

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම මීට පෙර තරගය සඳහා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමඟින් තරග වැදුනු අතර එම තරගය සඳහා ක්‍රීඩා කළ ශබාස් අහ්මඩ් වෙනුවට මෙම තරගය සඳහා මොහොමඩ් සිරාජ් ඇතුළත් කර තිබිනි.

කොල්කටා නයිට් රයිඩර්ස් ඉනිමේ පළමු පන්දුවාරය ලකුණු 3කට සීමාවිය. දෙවන පන්දුවාරය ක්‍රියාත්මක කළ මොහොමඩ් සිරාජ් එහි තුන්වන පන්දුවේ දී කොල්කටා ආරම්භක පිතිකරු රාහුල් ත්‍රිපති දවා ගැනීමට සමත් විය. ඉන් අනතුරුව පිටියට පිවිසි නිතිශ් රානා පළමු පන්දුවෙන්ම දවාගත් මොහොමඩ් සිරාජ්, පන්දුවාරය නිමා කළේ කඩුලු 2ක් දවාගත් නිලකුණු පන්දුවාරයක් ලෙසිනි.

එම පන්දුවාරය අවසන් වන විට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 3ක් රැස්කර ගෙන සිටියහ.

කොල්කටා ඉනිමේ සිව්වන පන්දුවාරය ක්‍රියාත්මක කළ සිරාජ්, එහි තුන්වන පන්දුවේ දී ටොම් බැන්‍ටන් දවා ගැනීමට සමත් විය. එම පන්දුවාරයේ සෙසු පන්දු වලදී ද කිසිඳු ලකුණක් වාර්තා කර ගැනීමට කොල්කටා පිතිකරුවන් සමත් වූයේ නැත. ඒ අනුව සිය දෙවන පන්දුවාරය ද නිලකුණු පන්දුවාරයක් ලෙස නිමා කළ සිරාජ්, එම දස්කම දැක්වූ පළමු ක්‍රීඩකයා ලෙස වාර්තා පොත් අතරට එක්විය.

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ නායක ඔයින් මෝර්ගන් තරගයේ කාසියේ වාසිය දිනාගත් අතර ඔහු මුලින් පන්දුවට පහරදීමට තීරණය කළේය.

කොල්කටා නයිට් රයිඩර්ස් ඉනිම පන්දුවාර 20 තුළදී ලකුණු 84කට සීමා වූ අතර ඔවුන්ගේ කඩුලු 8ක් දැවී ගොස් තිබිනි. මෙම ඉනිම ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලි ඉතිහාසයේ පන්දුවාර 20ක් තුළ සියලු දෙනා දැවීයාමකින් තොරව කණ්ඩායමක් වාර්තා කළ අඩුම ලකුණු සංඛ්‍යාව විය.

එහි සෙසු ලකුණු ප්‍රමාණයන් පහත පරිදි වේ.

  • කිංග්ස් ඉලෙවන් පංජාබ් – 92/8 (2009)
  • මුම්බායි ඉන්දියන්ස් – 94/8 (2011)
  • කිංග්ස් ඉලෙවන් පංජාබ් – 95/9 (2015)

කොල්කටා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ නායක ඔයින් මෝර්ගන්ය. ඔහු පන්දු 34ක් තුළ ලකුණු 30ක් රැස්කිරීමට සමත් විය.

පන්දු යැවීමේ දී යුස්වේන්ද්‍ර චහල් කඩුලු දෙකක් දවා ගත් අතර නව්දීප් සයිනි සහ වොශින්ටන් සුන්දර් කඩුලු එක බැගින් දවා ගැනීමට සමත් විය.

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම තම ඉලක්කය වූ ලකුණු 85 කඩුලු දෙකක් පමණක් දැවී පසුකර යාමට සමත් විය. ඒ පන්දුවාර 13ක් පමණක් වැය කරමිනි.

එම ජයග්‍රහණයත් සමඟින් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ලකුණු සටහනේ දෙවන ස්ථානය දක්වා ඉහළට පැමිණීමට සමත් විය. එහි පෙරමුණ තවමත් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සතුවේ.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 40 වන තරගය හෙට (22) දින රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර ඩුබායි හිදී පැවැත්වීමට නියමිතය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<