“මේ පරාජය අපිව අධෛර්යමත් කරන්නේ නැහැ” – ශිකර් ධවාන්

280
Shikhar Dhawan

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ (20) පැවති තරගයේ දී දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පරාජය කිරීමට කිංග්ස් ඉලෙවන් පංජාබ් කණ්ඩායම සමත් විය. ඒ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ලබා දුන් ඉලක්කය කඩුලු 5ක් පමණක් දැවී පසුකර යමිනි.

දිල්ලි කැපිටල්ස් කණ්ඩායම මෙවර තරගාවලියේ කැපී පෙනෙන කණ්ඩායම බවට පත්ව ඇති අතර ඔවුන් සහභාගී වූ තරග 10න් 7ක් ජයග්‍රහණය කර ඇත්තේ ලකුණු සටහනේ පළමු ස්ථානය හිමිකර ගනිමිනි. 

නවක ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම මෙවර ශූරතාව දිනා ගැනීමට වැඩි ඉඩකඩක් පවතින බව බොහෝ දෙනාගේ මතය වී තිබේ. කෙසේ වෙතත් ඊයේ තරගය පරාජය වීම එම කණ්ඩායමට යම් බලපෑමක් සිදුවේවි ද යන්න පිළිබඳව එම කණ්ඩායමේ ආරම්භක පිතිකරු ශිකර් ධවාන් අදහස් පල කර තිබුණි. 

එහි දී ඔහු පවසා සිටියේ ශ්‍රෙයාස් අයියර්ගේ නායකත්වයෙන් යුත් තම කණ්ඩායම මෙම පරාජය ආශීර්වාදයක් කරගනිමින් ඉදිරි තරග සඳහා මුහුණ දෙන බවයි. මෙම පරාජයට තමන් අධෛර්යමත් කිරීමට ඉඩ නොදෙන බවත්, වඩාත් ශක්තිමත්ව ඉදිරි තරග සඳහා සූදානම් වන බවත් ඔහු පවසා තිබේ. 

කිංග්ස් ඉලෙවන් පංජාබ් කණ්ඩායම වෙනුවෙන් කැපීපෙනෙන ඉනිමක් දියත් කළ නිකලස් පූරාන් ලකුණු 53ක් වාර්තා කළ අතර මෙතෙක් තම රිද්මයට ළඟා වී නොසිටි ප්‍රවේගකාරී පිතිකරු ග්ලෙන් මැක්ස්වෙල් ලකුණු 32ක් වාර්තා කළා. 

පංජාබ් කණ්ඩායම සිය ඉලක්කය පසුකර ගියේ පන්දු 6ක් ඉතිරිව තිබිය දී ය. පංජාබ් ලකුණු සටහනේ ප්‍රවේගකාරීම ඉනිම දියත් කිරීමට Universe Boss ක්‍රිස් ගේල් සමත්වූයේ පන්දු 13ක් තුල ලකුණු 29ක් රැස්කරමිනි. එයට හයේ පහර දෙකක් හා හතරේ පහර තුනක් ඇතුළත් විය. 

එම ජයග්‍රහණයත් සමඟින් කිංග්ස් ඉලෙවන් පංජාබ් කණ්ඩායම ලකුණු සටහනේ පස්වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට සමත් විය. ඔවුන් මීට පෙර තරග 7කට මුහුණ දී ජයග්‍රහණය කර තිබුණේ එක් තරගයක් පමණි. නමුත් පිට පිට තරග 3ක් ජයග්‍රහණය කරමින් ලකුණු සටහනේ පස්වැනි ස්ථානයට පත්වීමට සමත්ව ඇත.

තවත් ක්‍රිකට් පුවත්: 

ලකුණු සටහනේ මුල් ස්ථානය තවමත් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම වෙත හිමිව ඇති අතර ඔවුන් ප්‍රසාද ලකුණු 14ක් ලබාගෙන තිබේ.

“අපි මේ තරගයේ දී අපෙන් සිදු වුන අඩුපාඩු ගැන දීර්ඝව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි බලන්න ඕනේ අපේ අඩුපාඩු නැතිකරගන්න මොනවද කරන්න ඕනෙ කියලා. මේ පරාජයට අපිව අධෛර්යමත් කරන්න බැහැ. අපි වඩාත් ශක්තිමත්ව ඉදිරි තරගයට මුහුණ දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා” තරගයෙන් අනතුරුව ශිකර් ධවාන් අදහස් දක්වමින් පවසා සිටියේය.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 39 වැනි තරගය අද (21) රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සහ කොල්කටා නයිට් රයිඩර්ස් අතර පැවැත්වීමට නියමිතය. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<