කොරෝනා අස්සේ දිවා රාත්‍රී ටෙස්ට් තරගාවලියකට ඉන්දියාව සූදානමින්

163

ඉන්දියාව සහ එංගලන්තය අතර එළඹෙන 2021 වසරේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය සඳහා දිවා රාත්‍රී ටෙස්ට් තරග ද ඇතුළත් කිරීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. 

මේ බව ඉන්දීය ක්‍රිකට් ප්‍රධානී සව්රව් ගංගුලි තහවුරු කර ඇත. ඒ අනුව මෙම දිවා රාත්‍රී ටෙස්ට් තරග අහමදාබාද් හිදී පැවැත්වීමට නියමිතය. 

ඉන්දීය – එංගලන්ත ටෙස්ට් තරගාවලිය එළඹෙන 2021 වසරේ මුල් භාගයේ දී පැවැත්වීමට තම ආයතනය සැලසුම් කරන බව සව්රව් ගංගුලි PTI වෙත ප්‍රකාශ කර තිබේ. මේ බව PTI විසින් පසුගියදා තහවුරු කළේය. 

එංගලන්තය සහ ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත තරගාවලිය සඳහා ටෙස්ට් තරග 5ක් සහ සීමිත පන්දුවාර තරග කිහිපයක් ඇතුළත් වේ. මේ වන විට සකස් කර ඇති සැලසුම් වලට අනුව එංගලන්ත කණ්ඩායම එළඹෙන 2021 වසරේ ජනවාරි මාසයේ දී ඉන්දියාවට පැමිණීමට නියමිත අතර ඔවුන් මාර්තු මාසය දක්වා එරට රැඳී සිටීමට නියමිතය. 

“අපි දැනට සැලසුම් කරලා තියෙනවා දිවා රාත්‍රී ටෙස්ට් තරගයක් අහමදාබාද් හිදී පවත්වන්න.” පසුගියදා Kolkata Press Club හි පැවති උත්සවයක දී සව්රව් ගංගුලි මේ බව පවසා ඇත. අශෝක් භට්ටචර්‍යගේ නවතම ග්‍රන්ථය එළිදැක්වීමට එම උත්සවය සංවිධානය කර තිබිනි. 

පසුගිය පෙබරවාරි මාසයේ සිට ලොව පුරා පැතිර යන නව කොරෝනා හෙවත් COVID-19 වෛරසය හේතුවෙන් ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලිය සහ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය වැනි ප්‍රධාන පෙළේ ක්‍රිකට් තරගාවලි රැසක් අවලංගු කිරීමට සහ කල්දැමීමට සිදුවිය. 

ඉන්දියාව තුළ පවතින දරුණු කොරෝනා වෛරස තත්ත්වය හමුවේ එරට තුළ පැවැත්වීමට නියමිතව තිබූ තරගාවලි රැසක්ද  අවලංගු විය. කෙසේවෙතත් ලොව ධනවත්ම ක්‍රිකට් ලීග් තරගාවලිය ලෙස සැලකෙන ‘ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය’ ඉන්දියාව තුළ පැවැත්වීමට නොහැකි වීමත් සමඟින් එය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය තීරණය කළ අතර එය මේ දිනවල පැවැත්වේ. 

තවත් ක්‍රිකට් පුවත් කියවන්න: 

පවතින තත්ත්වය හමුවේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ද ඉන්දියාව තුළ පැවැත්වීමට නොහැකි වූ පසුබිමක් තුළ ඉන්දීය – එංගලන්ත ක්‍රිකට් තරගාවලිය ද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී හෝ වෙනත් රටක දී පැවැත්වීමට සිදුවනු ඇතැයි බොහෝදෙනා මත පළකර තිබිනි. පසුගිය මාසයේ දී ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර අත්සන් කෙරුනු ක්‍රිකට් අවබෝධතා ගිවිසුම එයට ප්‍රධාන හේතුව විය. 

කෙසේවෙතත් සව්රව් ගංගුලිගේ මෙම ප්‍රකාශයත් සමඟින් ඉන්දීය ක්‍රිකට් ආයතනය මෙම තරගාවලිය ඉන්දියාව තුළ පැවැත්වීමට මේ වන විට සැලසුම් කර ඇති බව දක්නට ලැබේ. 

ඒ අනුව ඉන්දීය ක්‍රිකට් ආයතනය මේ වන විට ජාත්‍යන්තර මට්ටමේ තරගාවලියක් පැවැත්වීමට හැකි සියළුම හැකියාවන් පිළිබඳව ඇගයීමක් කරමින් සිටින බව වාර්තා වේ. එයට සෞඛ්‍යාරක්ෂිත නිර්දේශ, ක්‍රීඩකයන් නිරෝධායනය කිරීම මෙන්ම ජෛව ආරක්‍ෂිත වටපිටාවක් නිර්මාණය කිරීම ද ඇතුළත් වේ. 

එංගලන්ත – ඉන්දීය ක්‍රිකට් තරගාවලිය සඳහා යොදාගැනීමට බලාපොරොත්තු වන ක්‍රීඩාංගණ පිළිබඳව ද මෙහිදී මාධ්‍යවේදීන් ගංගුලි ගෙන් විමසා තිබේ. 

අපි දැනට යම් යම් තාවකාලික සැලසුම් කීපයක් සකස් කරලා තියෙනවා. ඒත් තවමත් කිසිම දෙයක් ස්ථීරව සැලසුම් කරලා තහවුරු කරලා නැහැ. අපිට තවමත් මාස 4 කාලයක් ඉතිරි වෙලා තියෙනවා.” ගංගුලි එහිදී පවසා තිබේ.  

කෙසේවෙතත් ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් සැලසුම් කර ඇති පරිදි අහමදාබාද්, ධරම්ශාලා සහ කොල්කටා ක්‍රීඩාංගණ ටෙස්ට් තරගාවලිය සඳහා යොදා ගැනීමට වැඩි ඉඩක් පවතින බව මාධ්‍ය වාර්තා කර තිබිනි. 

ඉන්දීය ක්‍රිකට් ආයතනය මේ වන විට එංගලන්ත තරගාවලිය පිළිබඳව සැලසුම් කිරීමට වඩා ඊට පෙර පැවැත්වීමට නියමිත ඕස්ට්‍රේලියා සංචාරය පිළිබඳව අවධානය යොමුකර ඇති බව ගංගුලි තවදුරටත් පවසා තිබේ. ඉන්දීය කණ්ඩායමේ ඕස්ට්‍රේලියා සංචාරය එළඹෙන දෙසැම්බර් මාසයේ දී ආරම්භ වීමට නියමිතය. 

“එංගලන්ත තරගාවලියට කලින් අපිට ඕස්ට්‍රේලියා සංචාරය තියෙනවා. ඒ තරගාවලියට සහභාගී වෙන කණ්ඩායම ඉදිරි දවස් කීපය තුළ තෝරගන්න අපි බලාපොරොත්තු වෙනවා.” 

එහිදී මාධ්‍යවේදීන් ඔහුගෙන් විමසා සිටියේ ක්‍රීඩකයන් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා සහභාගී වී සිටීම නිසා ඔවුන්ට කෙටි කාලයක් තුළ ටෙස්ට් තරග සඳහා හුරුවීමට හැකියාවක් පවතීද යන්නයි. 

“ඔවුන් හැමෝම ඉතාමත් දක්ෂ වගේම ගුණාත්මක බවින් ඉහළ ක්‍රීඩකයන්. ඒ නිසා ඒක ඔවුන්ට එතරම් ගැටලුවක් නොවේවි.” ගංගුලි එයට පිළිතුරු දෙමින් පවසා තිබේ. 

ඉන්දියාව තුළ කොරෝනා වෛරසය තවමත් පාලනයකින් තොරව පැතිර යන වටපිටාවක එරට දේශීය ක්‍රිකට් තරගාවලියක් වන ‘රංජි කුසලාන තරගාවලිය’ එළඹෙන ජනවාරි මස පළමු වනදා ආරම්භ කරන බව ඉන්දීය ක්‍රිකට් ආයතනය පසුගියදා නිවේදනය කළේය. 

ඒ පිළිබඳව අදහස් දක්වමින් සව්රව් ගංගුලි පවසා සිටියේ එම තරගාවලිය පිළිබඳව අවසන් සැලසුම් ඉදිරියේ දී පැවැත්වීමට නියමිත වාර්ෂික මහ සභා රැස්වීමේ දී තීරණය කරන බවයි. 

“ඉදිරියේ දී අපේ මහ සභා රැස්වීම පවත්වන්න අපි කටයුතු සූදානම් කරලා තියෙන්නේ. ඒ රැස්වීමේ දී මේ රංජි කුසලාන තරගාවලිය සම්බන්ධයෙන් අවසන් තීරණ සහ සැලසුම් සකස් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.” ගංගුලි පවසා තිබිනි. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<