“මානසික සෞඛ්‍ය ගැනත් හිතන්න!” – එංගලන්ත නායකයාගෙන් ඉල්ලීමක්

632

COVID-19 වසංගතය නිසාවෙන් ක්‍රීඩකයින්ට එල්ල විය හැකි බලපෑම අවම කරගැනීම සඳහා මේ වන විටත් ක්‍රිකට් ඇතුළු අනෙකුත් ක්‍රීඩා තරගාවලිවල සංවිධායකවරුන් විවිධ ක්‍රියාමාර්ගයන් අනුගමනය කිරීමට පෙළඹී තිබෙනවා. 

ඒ අතරින් ජෛව-ආරක්ෂණ වැඩපිළිවෙළට සහය දක්වමින් බාහිර සමාජය සමඟ ගැටීමකින් තොරව ක්‍රීඩකයින් ඇතුළු සමස්ත සහය කාර්‍ය මණ්ඩලයම එක පොකුරක් ලෙස හුදකලා කිරීම වඩාත් සාර්ථක ක්‍රමවේදයක් ලෙස මේ වන විටත් අනුගමනය කෙරෙමින් පවතී.

කෙසේ නමුත් තම සමීපතමයන්ගෙන් සහ ක්‍රීඩාලෝලීන්ගේ සහය නොමැතිව දීර්ඝ කාලයක් හුදකලාව සිටීම ඉතාමත් අභියෝගාත්මක කර්තව්‍යයක් බවත්, එය ක්‍රීඩකයින්ගේ මානසික සෞඛ්‍යයට සෘණාත්මක ලෙස බලපෑ හැකි බවත් එංගලන්ත නායක ඔයින් මෝර්ගන් පසුගිය දා පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් සඳහන් කර සිටියා. 

තවත් ක්‍රිකට් පුවත්:

ඉහත සඳහන් කළ හේතුව නිසාවෙන් යම් ක්‍රීඩකයෙකු හට තරගාවලියක් සඳහා සහභාගී නොවී සිටීමට අවශ්‍ය නම් ඊට එරෙහිව විරෝධත්වය පෑමට කිසිදු පාර්ශවයකට සදාචාරාත්මක අයිතියක් නොමැති බව ද එහි දී ඔහු අවධාරණය කර සිටියා. 

එංගලන්ත කණ්ඩායම ගෙවුණු මාස කිහිපය තුල දී පාකිස්තාන, බටහිර කොදෙව් සහ ඕස්ට්‍රේලියා යන තරග සංචාර ත්‍රිත්වය සඳහාම සත්කාරකත්වය දැරූ හෙයින් මෙහි ඇති බැරෑරුම්කම සම්බන්ධයෙන් සෙසු කණ්ඩායම්වලට සාපේක්ෂව හොඳ අවබෝධයක් ඔවුන් සතුවන මෙහි දී සඳහන් කළ යුතුය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය කේන්ද්‍ර කරගනිමින් මේ දිනවල ක්‍රියාත්මක වන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා සහභාගී වී සිටින එංගලන්ත කණ්ඩායමේ ප්‍රමුඛ පෙළේ ක්‍රීඩකයින් රැසකටම එම තරග වාරය අවසන් කිරීමෙන් අනතුරුව නැවතත් ජාතික කණ්ඩායමේ සේවය සඳහා වාර්තා කිරීමට සිදුව තිබෙන්නේ එළඹෙන දකුණු අප්‍රිකානු තරග සංචාරය සඳහා අවශ්‍ය පෙර පුහුණුවීම් කටයුතු ආරම්භ කිරීම සඳහායි.

“මම කණ්ඩායමේ සාමාජිකයින් එක්ක මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කළා. එතන දී අපිට පිළිගන්න උනා ඇත්තටම මේ ක්‍රමය නිසා සමහර ක්‍රීඩකයින්ගේ මානසික මට්ටම තරමක් පසුගාමි තැනක තියෙන්නෙ කියලා. ඉතින් ඒක නිසා ක්‍රීඩකයොන්ට ගොඩක් වෙලාවට මේ ක්‍රමවේදයෙන් බැහැර වෙලා කටයුතු කරන්න අවශ්‍යතාවක් පැන නැඟුනොත් කණ්ඩායමෙන් ඉවතට ගිහින් පවුලේ උදවිය එක්ක කාලය ගත කරන්න ඕන පසුබිම සකස් කර දිය යුතුයි. මොකද මානසික සෞඛ්‍ය කියන එක අතිශය වැදගත්.”

මේ අනුව මෝර්ගන් පෙන්වා දී සිටියේ එවැනි ඍජු තීරණයක් ගැනීම සඳහා අවශ්‍ය වටපිටාව ක්‍රීඩකයින් වෙත සලසා දීම ඉතාමත් වැදගත් බවයි. ECB බලධාරීන් මෙම ගැටලුව කෙරෙහි වැඩි අවධානය යොමු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

“මම හිතනවා ක්‍රීඩාලෝලීන් වුනත් මේ වෙලාවේදි මානුෂීය විදිහිට මේ ගැටලුව දිහා දකින්න උත්සාහ කරාවි කියලා මොකද නැත්තන් අපිට චෝදනාවක් එල්ල වෙන්න පුළුවන් රට වෙනුවෙන් කරන්න තියෙන යුතුකම පැහැර ඇරලා මුදල් පස්සේ දුවනවා කියලා.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<