ශ්‍රී ලංකාව පරාජිත ටෙස්ට් තරග ශතකය වාර්තා කරයි

508
Sri Lanka Cricket v India Cricket
AFP PHOTO

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි ටෙස්ට් තරගය අද (27) නාග්පූර් පිටියේ දී නිමා වූයේ සංචාරක ක්‍රීඩකයින්ට ඉනිමක සහ ලකුණු 239ක දැවැන්ත පරාජයක් හිමි කර දෙමිනි. මෙය ශ්‍රී ලංකා ටෙස්ට් තරග ඉතිහාසයේ පරාජය වූ 100 වැනි ටෙස්ට් තරගය ලෙසින් ඉතිහාසයට එක් විය.

කෝලිගේ ඉනිම ශ්‍රී ලංකාවේ දෑස් තෙත් කරයි

ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා සම්පූර්ණ දින දෙකක කාලයක් සමඟින් ලකුණු 405ක් පිටුපසින්..

ඉන්දීය ටෙස්ට් තරග ඉතිහාසයේ දැවැන්තම තරග ජයග්‍රහණය වූ මෙම තරගය දිවා විවේකයෙන් පසුව යැවුණ 9 වැනි පන්දු වාරයේ දී අවසාන වූයේ තරගය නිමා වීමට තවත් සම්පූර්ණ දිනයක් සහ දිනයේ තවත් පන්දු වාර 49ක් ඉතිරිව තිබිය දී ය. මෙම තරගය ජයග්‍රහණයත් සමඟින් ඉන්දීය ක්‍රීඩකයෝ 1-0ක් ලෙසින් තරගාවලියේ ඉදිරියට පිවිසියහ.

ඉනිමක පරාජයෙන් ගැලවීමට ලකුණු 384ක් පිටුපසින් සිට සිව්වැනි දිනයට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට අද ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 166ක් පමණි.

පළමු කඩුල්ල ඉතාම අවාසනාවන්ත ලෙස පෙර දිනයේ දැවී යෑමෙන් අනතුරුව පිටියේ සිටි දිමුත් කරුණාරත්න සහ ලහිරු තිරිමාන්න එක්ව දෙවැනි කඩුල්ලට ලකුණු 34ක් එක් කරන තුරු පිටිය යම් තරමකින් ශ්‍රී ලංකා පිතිකරුවන්ට වාසි සහගත විය. ඒ පැයක පමණ කාලයක් පමණි.

දැවැන්ත ඉනිමක් ගොඩ නැගීමේ අභියෝගය ඉදිරියේ තම පිති සීරුවෙන් තබාගෙන පිටියට පිවිසිය ද, ශ්‍රී ලංකා පිතිකරුවන්ට සිතූ සේ රඟන්නට ඉන්දීය පන්දු යවන්නෝ ඉඩ තැබුවේ නැත. දෙවැනි කඩුල්ල ලෙස දිමුත් කරුණාරත්න ලකුණු 18ක් ලබා සිටිය දී පිටියෙන් ඉවත් වූ පසු සෑම පන්දු වාර 5කට වරක්ම කඩුල්ලක් දවා ගනිමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව මෙල්ල කිරීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත් වූහ. ඒ අනුව එක් අවස්ථාවක දී ලකුණු පුවරුව කියැවුණේ පන්දුවාර 30.5ක් අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 75ක් ලෙසිනි.

ඒ වෙද්දී ලහිරු තිරිමාන්න (23) ඇන්ජලෝ මැතිව්ස් (10) සහ නිරෝෂාන් දික්වැල්ල (4) ක්‍රීඩා විවේකාගාරයට ගොස් තමන්ගේ පිති බෑග්වල අසුරා ගෙන තිබුණි.  අනෙක් අන්තයෙන් තම පිතිකරුවන් එකිනෙකා අසාර්ථක වෙද්දී නායක දිනේෂ් චන්දිමාල්ට සිදු වූයේ එක් අන්තයක හුදකලා වෙමින් තම කඩුල්ල ආරක්ෂා කර ගනිමින් ඉන්දීය පන්දු යවන්නන්ට ඇණයක් වීමට ය.

චන්දිමාල් හය වැනි කඩුල්ලට දසුන් ශානක හා එක්වෙමින් ලකුණු 27ක සබඳතාවක් එක් කරමින් යම් තරමකින් එම අපලය දුරු කිරීමට සමත් වූවද, පිට පිට පන්දු වාර දෙකක දී ඉතාමත් දරුණු ආකාරයට ක්‍රියාත්මක වූ දකුණතින් පිට දඟපන්දු යවන රවිචන්ද්‍රන් අශ්වින් දසුන් ශානක (17) දිල්රුවන් පෙරේරා (00) සහ රංගන හේරත් (00) නැවත ක්‍රීඩා විවේකාගාරයට හරවා යැව්වේය. ඒ අතුරින් දිල්රුවන් පෙරේරා සහ රංගන හේරත් එකම පන්දු වාරයක පන්දු තුනක් තුළ දවා ගැනීමට ඔහු සමත් විය. ඒ වෙද්දී ශ්‍රී ලංකා ලකුණු පුවරුව තිබුණේ කඩුලු 8ක් දැවී ලකුණු 107ක් සේ ඉතා දුර්වල තත්ත්වයේ ය.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ ඉන්දීය පන්දු යවන්නන්ට යම් තරමකින් හෝ හිසරදයක් වෙමින් කඩුලු ආරක්ෂා කර ගත්තේ නායක දිනේෂ් චන්දිමාල් සහ සුරංග ලක්මාල් පමණි. ඔවුන් දෙදෙනා දිවා විවේකය වන විට තම කඩුලු ආරක්ෂා කර ගනිමින් ලකුණු පුවරුව 145ක් දක්වා රැගෙන ආහ.

19න් පහළ ක්‍රිකට් නායකත්වය ඉසිපතනයට

ඉන්දියාවේ දී පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ අභියෝගතා තරගාවලිය සඳහා සහභාගී වන…

ඒ වෙද්දී දිනේෂ් චන්දිමාල් තම ටෙස්ට් තරග දිවියේ 15 වැනි අර්ධ ශතකය පන්දු 63ක දී වාර්තා කිරීමට සමත් ව සිටියේය. ඔහුගේ ඉනිමට හතරේ පහර 9ක් ඇතුලත් විය.

දිවා විවේකයෙන් පසුව යැවුණ 35 වැනි පන්දුවේ දී 9 වැනි කඩුල්ලේ සබඳතාව නිමා කිරීමට උමේෂ් යාදෙව් සමත් වූයේ රවිචන්ද්‍රන් අශ්වින් විසින් රැක ගත් උඩ පන්දුව හේතුවෙනි. ඒ අනුව එතෙක් ඉන්දීය පන්දු යවන්නනට ඇණයක් වූ දිනේෂ් චන්දිමාල් පන්දු 82ක දී හතරේ පහර 10ක් සමඟින් ලකුණු 61ක් ලබා ඔහුගේ ඉනිම නිමා කළේය. ඔහු සහ සුරංග ලක්මාල් අතර 9 වැනි කඩුල්ලේ සබඳතාව ලකුණු 58කි. එය ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ හොඳම කඩුලු සබඳතාව විය.

මෙම තරගයේ දී සුරංග ලක්මාල්ගෙන් සුවිශේෂී පිතිහරඹයක් දැක ගත හැකි වූ අතර තරගය නිමා වන විට ඔහු පන්දු 42කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 31ක් ලබා සිටියේය.

අනතුරුව සුරංග ලක්මාල් සමඟින් අවසන් කඩුල්ලට එක් වූ  ලහිරු කුමාර පන්දු 14ක සබඳතාවකින් අනතුරුව රවිචන්ද්‍රන් අශ්වින් වෙත කඩුල්ල පූජා කළේ  ඔහුගේ ටෙස්ට් තරග දිවියේ 300 වැනි කඩුල්ල ද ඉන්දීය ටෙස්ට් තරග ඉතිහාසයේ 143 වැනි තරග ජයග්‍රහණය ද වාර්තා කරවමිනි.

පන්දු යැවීමේ දී රවිචන්ද්‍රන් අස්වින් ලකුණු 63කට කඩුලු 4ක් දවා ගත් අතර ඉෂාන්ට් ෂර්මා, රවින්ද්‍ර ජඩේජා සහ උමේෂ් යාදේව් කඩුලු 2 බැගින් දවා ගත්හ.

තරගයේ වීරයා ලෙසින් නමි කෙරුණේ ඉන්දීය නායක විරාත් කෝලි ය.

ශ්‍රී ලංකාව; පළමු ඉනිම සියලුම දෙනා දැවී 205 (79.1): දිමුත් කරුණාරත්න 51, දිනේෂ් චන්දිමාල් 57, නිරෝෂන් දික්වැල්ල 24, දිල්රුවන් පෙරේරා 15, සුරංග ලක්මාල් 17, ඉෂාන්ට් ෂර්මා 3/37, රවිචන්ද්‍රන් අශ්වින් 4/67, රවින්ද්‍ර ජඩේජා 3/56

ඉන්දියාව; පළමු ඉනිම කඩුලු 6ක් දැවී ඉනිම අත්හිටවූවා 610 (176.1): (දෙවන දිනය නතර කරන විට පන්දුවාර 98.0ක දී කඩුලු 2ක් දැවි 312; මුරලි විජේ 128, චෙටෙස්වර් පුජාරා නොදැවී 121, විරාත් කෝලි නොදැවී 54) චෙටෙස්වර් පුජාරා 143, විරාත් කෝලි 213, රෝහිත් ෂර්මා නොදැවී 102, දිල්රුවන් පෙරේරා 202/3

ශ්‍රී ලංකාව; දෙවැනි ඉනිම සියල්ලුම දෙනා දැවී (තුන් වැනි දිනය නතර කරන විට පන්දුවාර 9.0ක දී කඩුල්ලක් දැවී 21): දිමුත් කරුණාරත්න 18, ලහිරු තිරිමාන්න 23, දිනේෂ් චන්දිමාල් 61, දසුන් ශානක 17, සුරංග ලක්මාල් නොදැවී 31, ඉෂාන්ට් ෂර්මා 2/43, රවිචන්ද්‍රන් අස්වින් 4/63, රවින්ද්‍ර ජඩේජා 2/28, උමේෂ් යාදේව් 2/30

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<