රංගන හේරත් බංග්ලාදේශයට

153

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු විශිෂ්ට දඟපන්දු යවන ක්‍රීඩක රංගන හේරත් බංග්ලාදේශ කණ්ඩායමේ දඟපන්දු උපදේශක ලෙස පත්කර තිබෙනවා. ඔහු එළඹෙන ඔක්තෝබර් – නොවැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගාවලිය දක්වා එම ධූරයේ කටයුතු කිරීමට නියමිතයි.

රංගන හේරත් බංග්ලාදේශ දඟපන්දු පුහුණුකරු ලෙස එක්වීමට නියමිත බවට මාධ්‍ය කීපයක් මීට පෙර වාර්තා කර තිබුණා. නමුත් ඉන් අනතුරුව වාර්තා වුනේ රංගන හේරත් සහ බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය අතර පැවති සාකච්ඡාවල දී ඒ සම්බන්ධයෙන් සාධනීය එකඟතාවයකට පැමිණීමට නොහැකි වූ බවයි.

ඒ සඳහා මූලික හේතුව වී තිබුණේ රංගන හේරත් හට බංග්ලාදේශ කණ්ඩායම සමඟින් වැඩි කාලයක් කටයුතු කිරීමට සිදුවීම බවත් වාර්තා වුනා.

කෙසේ වෙතත් ඉන් අනතුරුව විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය රංගන හේරත් සිය දඟපන්දු උපදේශකවරයා ලෙස පත්කළ බව පවසා තිබෙනවා. 

තවත් ක්‍රිකට් පුවත්: 

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම එළඹෙන සතියේ දී සිම්බාබ්වේ තරග සංචාරයක් සඳහා එක්වීමට නියමිත අතර රංගන හේරත් ද ඒ සඳහා එක්වීමට නියමිතව තිබෙනවා. බංග්ලාදේශ සිම්බාබ්වේ තරගාවලිය ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස තරග වලින් සමන්විත වනවා.

ශ්‍රී ලංකාව බිහි කළ විශිෂ්ටතම වමත් දඟපන්දු යවන්නා වන රංගන හේරත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් අනතුරුව පසුගිය 2018 වසරේ දී පුහුණුකරුවෙකු වීම සඳහා වන දෙවැනි අදියරේ විභාග සියල්ල සම්පූර්ණ කර තිබෙනවා. ඉන් අනතුරුව ඔහු ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සමඟින් එක්වීමට කැමැත්ත ප්‍රකාශ කර තිබුණා. 

ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රීඩාව තුල රංගන හේරත් කඩුලු 430ක් දවාගෙන ඇති අතර පළමු පෙළ කඩුලු 1080ක් ඔහුගේ නම ඉදිරියේ සටහන් කරගෙන තිබෙනවා. 

රංගන හේරත් මීට පෙර Tamil Union සහ Athletic කණ්ඩායම් හි පුහුණුකාරීත්වය දරා තිබෙනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<