අවිශ්ක සහ බට්ලර් දෙදෙනාටම ආබාධ

ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය 2021

116

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු වන අවිශ්ක ප්‍රනාන්දු සහ එංගලන්ත කණ්ඩායමේ ආරම්භක පිතිකරු වන Jos Buttler ආබාධවලට ලක්ව තිබෙන නිසා දෙරට අතර පැවැත්වෙන ඉදිරි තරග සඳහා ඔවුන් දෙදෙනාගේ සහභාගීත්වය අවිනිශ්චිත බව වාර්තා වෙනවා.

අවිශ්ක පුහුණු සැසියක් අතරතුර ආබාධයකට ලක්ව ඇති අතර ඔහුගේ MRI පරීක්ෂණය මේ මස 28 වැනිදා සිදු කිරීමට නියමිතව තිබෙනවා. කෙසේ නමුත් ලැබෙන විශ්වාසදායී ආරංචි මාර්ගවලට අනුව ඔහුගේ ආබාධය සුව වීම සඳහා සති දෙකක් කාලයක් පමණ ගත වන බව වාර්තා වෙනවා.

අවිශ්ක පළමු විස්සයි විස්ස තරග දෙකේ දී ම අසාර්ථක වුනා. ඔහු පළමු තරගයේ දී ලකුණු නොලබාම දැවී ගිය අතර දෙවැනි තරගයේ දී ලකුණු 6කට දැවී ගියා. ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තුන්වැනි විස්සයි විස්ස තරගයේ දී නිරෝෂන් දික්වැල්ල සමඟ දනුෂ්ක ගුණතිලක ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් ලෙස කටයුතු කිරීමට වැඩි ඉඩක් තිබෙනවා.

තවත් ක්‍රිකට් පුවත් කියවන්න:  

එසේම එංගලන්ත කඩුලු රකින ආරම්භක පිතිකරු Jos Buttlerගේ පාදයක කලව ආශ්‍රිතව ඇතිව තිබෙන මස්පිඩු ඇදීමක් නිසාවෙන් ඔහුට ද ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන සීමිත පන්දුවාර තරගාවලි දෙකම මඟ හැරී යන බව වාර්තා වෙනවා.

දෙරට අතර පැවති පළමු විස්සයි විස්ස තරගයේ දී තරගයේ වීරයා වෙමින් නොදැවී ලකුණු 68*ක් ලබා ගැනීමට ඔහු සමත් වුනත් දෙවැනි විස්සයි විස්ස තරගය සඳහා ක්‍රීඩා කිරීමට ඔහුට ඉඩක් ලැබුණේ නැහැ. ඒ නිසාවෙන් එංගලන්ත එක්දින සංචිතය සඳහා Dawid Malan කැඳවීමට එංගලන්ත ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබෙනවා.

දෙරට අතර පැවැත්වෙන තුන්වැනි සහ අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද (26) Southampton හිදී ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රි 7ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. එහි තොරතුරු ද ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<