නිදහස් කුසලානයේ උරුමය උතුරට

නිදහස් කුසලාන පාපන්දු ශූරතාවය 2022

195

ශ්‍රී ලංකා නිදහස් දිනයට සමගාමීව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් සංවිධානය කළ නිදහස් කුසලාන – සිලෝන් පළාත් ලීගයේ ශූරතාවය ජයග්‍රහණය කරන්නට අද (05) උතුරේ ක්‍රීඩකයින් සමත් වුනා. එහි දී ගෝල 3-1ක් ලෙස පරාජය වූ දකුණු පළාතට අනුශූරතාවය හිමි වුනා.

තරගාවලියේ අවසන් පූර්ව තරග වට දෙකකට පැවති අතර එහි දී දඬුවම් පහර 4-1ක් ලෙස සබරගමුව පරාජය කරමින් දකුණු පළාත් ක්‍රීඩකයින් අවසන් මහා තරගයට පිවිසෙන විට, නැගෙනහිර පළාත් ක්‍රීඩකයින් ගෝල 1-0ක් ලෙස පරාජය කරමින් උතුරු පළාත් ක්‍රීඩකයින් අවසන් මහා තරගයට පිවිසියා.

යාපනය දුරේඅප්පා ක්‍රීඩාංගණයේ දී සවස 3:30ට ආරම්භ වූ අවසන් මහා තරගයේ දී ඉතාමත් කරට කර සටන් විලාසයක් දැක ගන්නට ලැබුණු අතර ලකුණු පුවරුව ක්‍රියාත්මක කරමින් පළමු ගෝලය වාර්තා කරන්නට උතුරේ ක්‍රීඩක වී. විග්නේෂ් සමත් වුනා. ඒ 23 වැනි මිනිත්තුවේ දීයි.

ඉන් අනතුරුව තරගයේ පළමු අර්ධය අවසන් වන තෙක් ගෝලයක් වාර්තා නොවන බවක් දක්නට ලැබුනත්, 45 වැනි මිනිත්තුවේ දී ගෝලයක් වාර්තා කරමින් පළමු අර්ධය ගෝල 2-0ක් ලෙස අවසන් කරන්නට උතුරු පළාත නියෝජනය කරන කේ. තෙනුෂාන් සමත් වුනා.

දැඩි පීඩනයක් සමඟින් දෙවැනි අර්ධයට පිවිසි දකුණු පළාත් ක්‍රීඩකයින් හට එම පීඩනය තෙගුණ කරමින් කණ්ඩායමේ ලකුණු පුවරුවට තවත් ගෝලයක් එකතු කරන්නට උතුරු පළාතේ නායක එම්. නිදර්සන් සමත් වුනේ 59 වැනි මිනිත්තුවේ දීයි.

ඉන් අනතුරුව ප්‍රතිවාදීන්ට තවත් ගෝල ලබා නොදෙන්නට වග බලා ගත් දකුණේ ක්‍රීඩකයින් විසින් සිය පළමු ගෝලය වාර්තා කරන්නට සමත් වුනේ තරගයේ අවසන් භාගයේ දීයි. කේෂාන් දුමිඳු විසින් 85 වැනි මිනිත්තුවේ දී වාර්තා කර ගත් එම ගෝලයත් සමඟින් තරගය නිමාව දුටුවේ උතුරු පළාත් ක්‍රීඩකයින් ගෝල 3-1ක් ලෙස ශූරතාවය තමන් සතු කර ගනිමිනුයි.

අවසන් ලකුණු තත්වය: උතුරු පළාත 3 – 1 දකුණු පළාත

ගෝල ලාභීන්:

  • උතුර – වී. විග්නේෂ් (23’), කේ. තෙනුෂාන් (45’), එම්. නිදර්සන් (59’)
  • දකුණ – කේෂාන් දුමිඳු (85’)

අවසන් මහා තරගයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සහභාගී වී සිටි අතර තරගාවලියේ විශේෂ කුසලාන පිරිනැමීම ඔහුගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.

එහි දී Golden Glove සම්මානය නැගෙනහිර පළාත් ක්‍රීඩක මොහොමඩ් මුර්සිත් විසින් දිනා ගනිද්දී, Golden Boot සහ Golden Ball සම්මාන ද්විත්වයම උතුරු පළාත් ක්‍රීඩක මරියදාස් නිදර්සන් විසින් දිනා ගන්නට සමත් වුනා.

තරගයේ Fair Play සම්මානය නැගෙනහිර පළාත විසින් දිනා ගනිද්දී තරගාවලියේ නැගී එන ක්‍රීඩකයාට හිමි සම්මානයෙන් පිදුම් ලබන්නට නැගෙනහිර ක්‍රීඩක මොහොමඩ් මුනිෆ් සමත් වුනා.

මේ සමඟින්, ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ක්‍රීඩකයින් සහභාගී කර ගනිමින් කණ්ඩායම් 8ක් උරෙන් උර ගැටුණු නිදහස් කුසලාන – සිලෝන් පාපන්දු ලීග් තරගාවලිය අදින් අවසන් වන අතර තරගාවලියේ දක්ෂතා දැක්වූ සියලු ක්‍රීඩකයින් හට ThePapare.com හි උණුසුම් සුබ පැතුම්.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<