මුරලිට පසු සංගක්කාරත් ICC විශිෂ්ටයන් අතරට

348

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර සංගක්කාර අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයින් (ICC Hall of Fame) ලැයිස්තුවට එක් කළ බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් අද (13) නිවේදනය කළා.

ඒ අනුව ශ්‍රී ලංකා නියෝජනය කළ ක්‍රීඩකයන් අතුරින් එම ලැයිස්තුවට ඇතුළත් වූ දෙවැනි ක්‍රීඩකයා වීමට ද සංගක්කාරට හැකි වුනා. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එම ලැයිස්තුවට එක්වූ පළමු ක්‍රීඩකයා වූයේ දඟපන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරනුයි.

මෙම මස 18 වැනිදා ආරම්භ වන ලෝක ටෙස්ට් ශූරතාවයේ අවසන් මහා තරගයට සමගාමීව මෙම නම් කිරීම සිදු කළ අතර එහි දී සංගක්කාරට අමතරව තවත් ක්‍රීඩකයන් නව දෙනෙකු ICC Hall of Fame ලැයිස්තුවට එක් කිරීමට කටයුතු කර තිබුණා.

ක්‍රිකට් ක්‍රීඩාව යුග පහකට වෙන් කරමින් මෙම ක්‍රීඩකයන් තෝරාගැනීම සිදු කර තිබූ අතර එක් එක් යුගය නියෝජනය කරමින් කැපී පෙනෙන දස්කම් පෑමට සමත් වූ ක්‍රීඩකයන් දෙදෙනා බැගින් තෝරා ගැනීම සිදුකර තිබුණා.

  • මුල් ක්‍රිකට් යුගය – EARLY CRICKET ERA (1918 ට වසරට පෙර කාලය) 
  • අන්තර් යුද යුගය – INTER-WAR ERA (1918 සිට 1945 දක්වා කාලය)
  • යුද්ධයෙන් පසු යුගය- POST-WAR ERA (1946 සිට 1970 දක්වා කාලය)
  • එක්දින යුගය – ODI ERA (1964 සිට 1975 දක්වා කාලය)
  • නවීන ක්‍රිකට් යුගය -MODERN CRICKET ERA (1996 සිට 2015 දක්වා කාලය)

ඉහත ආකාරයට එම යුගයන් වෙන් කර තිබූ අතර නවීන ක්‍රිකට් යුගය නියෝජනය කළ ක්‍රීඩකයන් අතුරින් තෝරාගත් ක්‍රීඩක ද්විතවය අතරට කුමාර සංගක්කාර ඇතුළත්ව තිබුණා.

මුල් ක්‍රිකට් යුගය නියෝජනය කරමින් දකුණු අප්‍රිකානු ක්‍රීඩක Aubrey Faulkner සහ ඕස්ට්‍රේලියානු ක්‍රීඩක Monty Noble එම ලැයිස්තුවට ඇතුළත්ව තිබූ අතර අන්තර් යුද යුගය නියෝජනය කරමින් බටහිර ඉන්දිය කොදෙව් ක්‍රීඩක Sir Learie Constantine සහ ඕස්ට්‍රේලියානු ක්‍රීඩක Stan McCabe ඇතුළත් වුනා.

තවත් ක්‍රිකට් පුවත්:

එංගලන්තය ක්‍රීඩක Ted Dexter සහ ඉන්දියානු ක්‍රීඩක Vinoo Mankad යුද්ධයෙන් පසු යුගය නියෝජනය කරමින් ඇතුළත්ව තිබුණා. එක්දින යුගය නියෝජනය කරමින් අවස්ථාව හිමිව තිබුණේ බටහිර ඉන්දිය කොදෙව් ක්‍රීඩක Desmond Haynes සහ එංගලන්ත ක්‍රීඩක Bob Willis හටයි.

නවීන ක්‍රිකට් යුගය නියෝජනය කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩක කුමාර සංගක්කාරට අමතරව හිටපු සිම්බාබ්වේ සුපිරි පිතිකරු Andy Flower එම ලැයිස්තුවට තෝරාගෙන තිබුණා.

ශ්‍රී ලංකාව බිහි කළ ශ්‍රේෂ්ඨතම පිතිකරුවෙකු වන කුමාර සංගක්කාර 2000 වසරේ සිට 2015 දක්වා දශකයකට අධික කාලයක් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ටෙස්ට් ලකුණු 12,400ක් සහ එක්දින ලකුණු 14,234ක් රැස් කිරීමට සමත් වුනා.

එමෙන්ම ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ද දැරූ සංගක්කාර 2011 ලෝක කුසලාන අවසන් මහා තරගය දක්වා මෙහෙය වූයේ තරගාවලිය පුරාවට පිතිකරණයෙන් ලකුණු 465ක් රැස්කරමින්.

2015 වසරේ ඉන්දියාව සමඟ පැවති ටෙස්ට් තරගාවලියෙන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පූර්ණ වශයෙන් සමු දුන් කුමාර සංගක්කාර 2019 වසරේ සුප්‍රකට Marylebone ක්‍රිකට් සමාජයේ පළමු බ්‍රිතාන්‍ය නොවන සභාපතිවරයා ලෙස ද පත්වූ අතර වත්මන් සභාපතිවරයා ද වන්නේ ඔහුයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<