ඩ්‍රාවිඩ්ට කෝවිඩ්!

ආසියානු කුසලානය 2022

158

2022 ආසියානු කුසලානය සඳහා ඉන්දීය කණ්ඩායම ඩුබායි රාජ්‍යය වෙත යාමට මත්තෙන් ඔවුන්ගේ ප්‍රධාන පුහුණුකරු රාහුල් ඩ්‍රාවිඩ් හට COVID-19 වයිරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා.

අගෝස්තු 27 සිට සැප්තැම්බර් 11 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන තරගාවලියට මේ මොහොතේ දී ඩ්‍රාවිඩ් කණ්ඩායම සමඟ ගමන් නොකරන බව ඉන්දියානු ක්‍රිකට් කවුන්සිලය නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියා.

ඩ්‍රාවිඩ් ඉන්දියානු ක්‍රිකට් කවුන්සිලයේ වෛද්‍ය කණ්ඩායමේ අධීක්ෂණය යටතේ සිටින අතර ඔහුට මද රෝග ලක්ෂණ තිබෙනවා,” යනුවෙන් ඉන්දියානු ක්‍රිකට් කවුන්සිලය අඟහරුවාදා (23) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා. ඒ පිළිබඳව තව දුරටත් ඔවුන් පැවසුවේ  “ඔහුගේ COVID-19 වාර්තාව සෘනාත්මක වීමෙන් අනතුරුව ඔහු කණ්ඩායමට එක්වනු ඇති,” බවයි.

මේ වන විට ඩ්‍රාවිඩ්ට COVID ආසාදනය වී ඇති හේතුවෙන් ඔහු වෙනුවට VVS ලක්ෂ්මන් ඩ්‍රාවිඩ්ගේ වැඩ කටයුතු කරගෙන යාමට ඉඩ කඩ ඇති බවත් වාර්තා වනවා.

ඉන්දීය ක්‍රිකට් කවුන්සිලය ඒ වෙනුවෙන් මේ මොහොතේ දී සිම්බාබ්වේ රාජ්‍යයේ සිටින VVS ලක්ෂ්මන් ඉන්දීය කණ්ඩායම සමඟ එක්වීමට අවශ්‍ය සියලු දේ කරන බවත් වාර්තා වනවා. නමුත් එහි අවසන් තීරණය තවමත් නිල වශයෙන් ප්‍රකාශ පත් කර නැහැ.

රාහුල් ඩ්‍රාවිඩ්ගේ අසනීප තත්වයේ බරපතළ භාවය සම්බන්ධයෙන් තවත් දින දෙකක් පමණ විපරම් කිරීමෙන් අනතුරුව ඉහත කරුණ පිළිබඳ අවසන් තීරණයක් ගන්නා බව වාර්තා වෙනවා.

මේ පිළිබඳව ඉන්දීය ක්‍රිකට් කවුන්සිලයේ ආරංචි මාර්ග සඳහන් කළේ, “ඉදිරි දින දෙක තුළ රාහුල්ගේ තත්ත්වය කෙසේ වේ දැයි අපි බලා සිටිමු, පසුව අපි තීරණය කරමු,” යනුවෙන්.

කණ්ඩායමේ සාමාජිකයින් අඟහරුවාදා (අගෝස්තු 23) තම රටින් ඩුබායි බලා පිටත්ව ගොස් ඇති අතර තවත් සාමාජිකයින්  හරාරේ සිට ඉන්දීය කණ්ඩායම සමඟ එක්වනු ඇත.

එසේම ඉන්දියාව තම පළමු තරගය අගෝස්තු 28 වැනිදා තම පරම ප්‍රතිවාදීන් වන පාකිස්තානයට එරෙහිව ක්‍රීඩා කිරීමට නියමිතයි.

  • තරගාවලිය සඳහා සහභාගී වන ඉන්දීය සංචිතය: Rohit Sharma (Captain), KL Rahul (vice-captain), Virat Kohli, Suryakumar Yadav, Deepak Hooda, Rishabh Pant (wicket-keeper), Dinesh Karthik (wicket-keeper), Hardik Pandya, Ravindra Jadeja, R. Ashwin, Yuzvendra Chahal, Ravi Bishnoi, Bhuvneshwar Kumar, Arshdeep Singh and Avesh Khan

ආසියානු කුසලානයේ උණුසුම ඔබ වෙත සමීප කරන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<