IPL අලුත් කණ්ඩායම ගැන Dravid කතා කරයි

701

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලිය පසුගියදා නිමා වූයේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට පස්වන ශූරතාවය ද හිමිකර දෙමිනි. තරගාවලිය නිමා වීමෙන් අනතුරුව එහි ප්‍රගතිය පිළිබඳව බොහෝදෙනා විවිධ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වා තිබිනි. 

දක්ෂතා සහිත නවක ක්‍රීඩකයන් හඳුනා ගැනීමේ සිට ඔවුන්ට ජාත්‍යන්තර තලයේ වේදිකාවක් සැපයීම දක්වා ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවට කළ මෙහෙය අපමණය. ඉන්දීය වේගපන්දු යවන බලඇණියේ ප්‍රධාන අවිය Jasprit Bumrah සහ ඉන්දීය මැදපෙළ ප්‍රවේගකාරී පිතිකරු Hardik Pandya වැනි ක්‍රිඩකයන් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අග්‍රඵල ලෙස හැඳින්විය හැක. 

නවක ක්‍රීඩකයන්ට නව වේදිකාවක් නිර්මාණය කිරීමට හැකි වීම පිළිබඳව අදහස් දක්වමින් හිටපු ඉන්දීය සුපිරි ක්‍රීඩක Rahul Dravid පසුගියදා පවසා සිටියේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා නව කණ්ඩායමක් එක් කිරීමට සුදුසුම කාලය මෙය බවයි.

මනෝජ් බඩේල් සහ සයිමන් හියුස් විසින් රචිත “A New Innings” නම් ග්‍රන්ථය එළිදැක්වීමේ සම්මන්ත්‍රණයකට සහභාගී වෙමින් Rahul Dravid මේ බව පවසා තිබිනි. එහිදී ඔහු තවදුරටත් අදහස් දක්වමින් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය තුළින් නවක ක්‍රීඩකයන්ට හිමි වූ අවස්ථාවන් පිළිබඳව මෙන්ම ප්‍රවීණ ක්‍රීඩකයන්ට ඒ තුළින් ලැබෙන අත්දැකීම් පිළිබඳව ද සුබවාදී අදහස් දක්වා තිබිනි. 

“අපි මේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය දිහා දක්ෂතා දෘෂ්ටි කෝණයෙන් බැලුවොත් මම හිතනවා අපිට මේ තරගාවලිය තවත් පුළුල් කරන්න හැකියාවක් තියෙනවා. වයස අවුරුදු 19න්, ක්‍රීඩකයන් ඔවුන් නියෝජනය කරන ප්‍රාන්ත කණ්ඩායම් වලින් එළියට ඇවිල්ලා ඔවුන්ගේ නම ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය තුළ ප්‍රසිද්ධ කරගන්න සමත් වුනා. නමුත් මේ තියෙන තරගකාරීත්වය එක්ක තවත් බොහෝ දෙනෙකුට ඇත්ත වශයෙන්ම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. අපි දකිනවා දක්ෂ ක්‍රීඩකයන් බොහෝදෙනෙක් කණ්ඩායම් වලින් එළියේ ඉන්නවා. ඒකට ප්‍රධානම හේතුව මේ තරගාවලිය තුළ තියෙන ගුණාත්මක භාවය වගේම දක්ෂ,පළපුරුදු ක්‍රීඩකයින් ගොඩක් කණ්ඩායම ඇතුළේ ඉන්න එක.”  

2020 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගවාරය තුළ නවක ක්‍රීඩකයන් රැසක් තම දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට සමත් විය. ඒ අතුරින් Devdutt Padikkal, Ravi Bishnoi, Ruturaj Gaikwad, Yashasvi Jaiswal සහ Kartik Tyagi ප්‍රධාන වේ. ඊට අමතරව දේශීය ක්‍රිකට් ක්‍රීඩාව තුළ සීමිත අවස්ථාවක් හිමි වූ Rahul Tewatia තම හැකියාවන් මෙවර තරගාවලිය තුළ ඉස්මතු කිරීමට සමත් විය. 

“මම දකින දෙයක් තමයි දැන් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ඉහළ මට්ටමේ ක්‍රීඩාවට පමණක් සීමා වූවක් නෙමෙයි. මේ තරගාවලියට කලින් ඉන්දියාවේ ක්‍රිකට් ක්‍රීඩා කරන තරුණ ක්‍රීඩකයින්ට ඔවුන්ගේ දක්ෂතා පෙන්වන්න ලැබුනු එකම ස්ථානය රාජ්‍ය සංගම් විතරයි. ඉන්දීය ජාතික කණ්ඩායමට එන්න ඔවුන්ට ඔවුන්ගේ ප්‍රාන්තය නියෝජනය කරමින් ‘රංජි කුසලානය’ වෙනුවෙන් ක්‍රීඩා කරන්න වුනා. ඒත් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය එහෙම නෙමෙයි. යම් ක්‍රීඩකයෙක් කර්ණාටක ප්‍රාන්තයේ වෙන්න පුළුවන්, ඒත්  ඔහුට පුළුවන් මුම්බායි කණ්ඩායම නියෝජනය කරන්න.”  

“අපි Rahul Tewatia ගැන බැලුවොත් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට කලින් ඔහුට ඔහුගේ දක්ෂතා පෙන්වන්න පුළුවන් වේදිකාවක් තිබුනේ නැහැ. ඒත් ඔහු ඒ සියලු බාධක මැද ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී ඔහුගේ හැකියාව පෙන්වූවා. මම හිතනවා ඒක තමයි ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය තුළ තියෙන විශිෂ්ට ධනාත්මක පැතිකඩ. මම හිතන්නේ මේ තරගාවලිය රට පුරා සිටින දක්ෂතා සහිත ක්‍රීඩකයන් සොයාගන්න තියෙන අමතර ඇස් යුගල අටක්. මේ නිසාම මෙම තරුණ ක්‍රීඩකයින් බොහෝ දෙනෙක් ජාත්‍යන්තර තලයට පැමිණෙනවා අපි දකිනවා.” Rahul Dravid තවදුරටත් පවසා සිටියේය. 

තවත් ක්‍රිකට් පුවත් කියවන්න:  

Rahul Dravidට අනුව ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සාර්ථකත්වයේ අතුරු ඵලයක් වන්නේ එක්දින ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රධාන බලවේගයක් ලෙස ඉන්දියාව නැගී සිටීමයි. 

“ඉන්දියාවට ඉතා ශක්තිමත් කනිෂ්ට තරග පද්ධතියක් තියෙනවා. නමුත් දේශීය අත්දැකීම් වලින් විතරක් ජාත්‍යන්තර අත්දැකීම් ක්‍රීඩකයන්ට ලබා දෙන එක පහසු දෙයක් නෙමෙයි. ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය මේ ක්‍රීඩකයන්ගේ දක්ෂතා ජාත්‍යන්තර වේදිකාවක දී පෙන්වන්න අවස්ථාව ලබා දෙනවා. පුහුණුකරුවන්ට ඔවුන්ට හැකි උපරිමයෙන් ක්‍රීඩකයන්ට මඟ පෙන්වනවාට අමතරව Virat Kohli වගේ ක්‍රීඩකයන් එක්ක පන්දුවට පහර දෙන්න ලැබීම සහ AB De Villiers ගෙන් ඉගෙන ගැනීමට මේ ක්‍රීඩකයන්ට ලැබෙන අවස්ථාව මිල කළ නොහැකි දෙයක්.” 

“2008 දී ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ආරම්භ වුන දවසේ ඉඳන් ඉන්දියාවේ එක්දින ක්‍රිකට් දෙස බැලුවොත්, අපි එක් ලෝක කුසලානයක් දිනා ගත්තා, තවත් ලෝක කුසලාන තරගාවලි දෙකක අවසන් පූර්ව වටයට පිවිසුනා. මේක අහම්බයක් නෙමෙයි. අපි චැම්පියන්ස් කුසලානයක් දිනා ගත්තා. විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට ගියා. මේවා මේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ප්‍රතිඵල. පසුගිය දශකය තුළ ඉන්දියාවේ එක්දින ක්‍රිකට් ක්‍රීඩාව අපේ ඉතිහාසයේ මෙතෙක් ලබා ඇති හොඳම ප්‍රගතිය ලබාගෙන තියෙනවා. ඒ හැමදේටම හේතුව මේ තරුණ ක්‍රීඩකයින්ට ලැබෙන අත්දැකීම්.” Rahul Dravid පැවසීය. 

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා 2021 වසරේ දී නව කණ්ඩායමක් එක් කිරීමට සූදානම් වන බව ඉන්දීය ක්‍රිකට් ප්‍රධානී Saurav Ganguly පසුගියදා මාධ්‍ය වෙත පවසා තිබිනි. කෙසේවෙතත් ඒ පිළිබඳව අවසන් තීරණය එළඹෙන දෙසැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිත ඉන්දීය ක්‍රිකට් ආයතනයේ වාර්ෂික මහ සභා රැස්වීමේ දී ගැනීමට නියමිතය. 

Cricbuzz ඇසුරිනි. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<