CSK නායක පට්ටම Dhoniගෙන් ගැලවෙයි ද?

201

2020 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ Mahendra Singh Dhoniගේ අවසන් IPL තරගාවලිය වේ යැයි බොහෝ දෙනා බලාපොරොත්තු වුනා. ඒ, තරගාවලිය ආරම්භ වීමට පෙර ඔහු තමන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව ප්‍රකාශ කළ නිසයි. මෙවර තරගාවලියේ දී Dhoni සුපුරුදු දස්කම් දැක්වීමට අසමත් වූ අතර තරගාවලිය පුරාවට ඔහු රැස් කරගත්තේ ලකුණු 172ක් පමණයි.  

IPL ඉතිහාසයේ පළමු වතාවට Chennai අවසන් වටයට පිවිසෙන්නට ද අසමත් වුනා. මේ අතරතුර CSK කණ්ඩායමේ අවසන් තරගයේ දී විස්තර විචාරක Danny Morrison මේ ඔහු Chennai වෙනුවෙන් ක්‍රීඩා කරන අවසන් තරගය දැයි Dhoni වෙත ප්‍රශ්නයක් ද යොමු කළා.  

“ස්ථිරයෙන්ම මේ මගේ අවසන් තරගය නොවෙයි” Dhoni එයට පිළිතුරු ලබා දෙමින් පවසා සිටියා. 

තවත් ක්‍රිකට් පුවත්:

2021 IPL තරගාවලියේදීත් CSK කණ්ඩායමේ නායකත්වය Dhoniට හිමි වෙයි ද, CSK කළමනාකාරිත්වය එය එසේ වේ යැයි පැවසුවත් ඉන්දීය හිටපු පිතිකරණ පුහුණුකරු Sanjay Bangar පවසා සිටින්නේ 2021 දී Dhoni වෙනුවට Faf du Plessis නායකයා වනු ඇති බවයි.  

“මම දන්න තරමට MS Dhoni 2011න් පසුවත් කල්පනා කළා ඉන්දීය කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් වෙන්න. නමුත් ඒ වන විට වගකීම බාර දිය හැකි කවුරුත් සිටියේ නැහැ. ඉන්දියානු කණ්ඩායමට ඉන් පසුව එංගලන්ත හා ඕස්ට්‍රේලියානු සංචාර තිබුණු නිසා ඔහු එම වගකීම භාරගෙන කටයුතු කළා. හරිම වෙලාවේ ඔහු නායකත්වය Virat Kohliට දුන්නා” Bangar,  Star Sports සමඟ පවසා තිබුණා.

“මට හිතෙන විදියට Dhoni එළඹෙන වසරේ දී නායකයා නොවෙන්න පුළුවන්. ඔහු ක්‍රීඩකයෙක් විදියට ක්‍රීඩා කරයි, හැබැයි නායකත්වය Faf du Plessisට දෙයි.”

“මොකද මේ මොහොතේ ඔවුන්ට වෙන නායකයෙක් නැහැ. ක්‍රීඩක වෙන්දේසියේ දී CSK නායකත්වය බාර දීමට හැකි ක්‍රීඩකයෙක් අනෙක් කණ්ඩායම් නිදහස් කරන බව විශ්වාස කරන්නත් බැහැ.”

Hindustan Times ඇසුරින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<